*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ICC ක්‍රිකට් තහනම ඉවතට? UN මහලේකම් ධුරයට ලංකාවෙන් ලොක්කෙක් – බැංකු දහයක් පොලී අනුපාත කඩලා – විදුලි ගාස්තු පහළට – බදු අඩුවීමක් – UPFA නයකත්වය චන්ද්‍රිකාට? ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම කා සමඟ ද ?

  • ICC ක්‍රිකට් තහනම ඉවතට?
  • UN මහලේකම් ධුරයට ලංකාවෙන් ලොක්කෙක්
  • බැංකු දහයක් පොලී අනුපාත කඩලා
  • විදුලි ගාස්තු පහළට
  • බදු අඩුවීමක්
  • UPFA නයකත්වය චන්ද්‍රිකාට?
  • ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම කා සමඟ ද ?

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යොර්ක්, එක්සත් ජනපදය (LNW): දිගින් දිගටම සිදු කරන ලද දේශපාලන සමීක්ෂණ වලින් මේ වන විට පෙනී යමින් ඇත්තේ රටේ සියයට හැටක පමණ ජනතාවක් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයකුට ඡන්දය දෙන්නට තවමත් තීරණයක් ගෙන නොමැති බවය. එම නිසා ඔළුගෙඩි එක්කර සාදන පෙරමුණු වලින් තවදුරටත් මහජන මතය වෙනස් කරන්නට හෝ ජනතාව ආකර්ෂණය කරගත හැකිද යන්න ගැටලුවකි. කොටින්ම කිවහොත් දේශපාලනඥයින් ඉන්නේ එක තැනකය. මහජනතාව ඉන්නේ වෙනත් තැනකය. අද දේශපාලන ලෝකය පොරොන්දු වලින් හා කයිවාරු වලින් පිරිලාය. එහෙත් ජනතාවට අවශ්‍ය ප්‍රයෝගිකව වැඩ පෙන්වූ එසේම වැඩ කරන නායකයෙකි. මේ රට ගොඩනැගිය හැකි නව වැඩපිළිවෙලකි. කාටත් අතනොපා, කිසිවෙකුටත් බියනොවී, සාමයෙන් සමඟියෙන් සියලු ජාතීන්ට එක්ව ජීවත්විය හැකි සාමකාමී රටකි.

IMF ණය අනුමතයි – විදුලි ගාස්තු පහළට – බදු අඩුවීමක්

ලබන දෙසැම්බර් මාසයේදී IMF දෙවන ණය වාරිකය ශ්‍රීලංකාව වෙත ලැබීමට නියමිතය. ඒ සමඟ ශ්‍රී ලංකාව නිල වශයෙන් බකොලොත්භාවයෙන් මිදීමට නියමිතය. ඒ අනුව එයින් පසුව මෙරට ආර්ථිකය යලිත් යථා තත්ත්වයට නිල වශයෙන් පත්වනු ඇති අතර වෙනත් ණය දෙන ආයතන සමඟ සාමාන්‍ය පරිදි කටයුතු කරන්නට අවස්ථාව ලැබේ. ඒ සමඟ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්ද, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්ද ලෙස ඩොලර් මිලියන 300 ක් ශ්‍රීලංකාවට ලැබීමට නියමිතය. ඉන්පසුව අතර මග නවතා දමා ඇති සංවර්ධන ව්‍යපෘති රැසක් යලි ආරම්භ කෙරේ. එසේම විදුලි ගාස්තු නැවත අඩු කිරීමට නියමිතය. උපයන විට ගෙවන බද්ද ඇතුළු බදු කීපයක යම් අඩුවීමක් සිදු කරන්නටද නියමිතය. ජනාධිපතිවරයා නව වැඩපිළිවෙලක් හා නව නිලධාරීන් පිරිසක් සමඟ 2024 ආරම්භ කරන්නට නියමිතය.

FILE PHOTO: A participant stands near a logo of IMF at the International Monetary Fund – World Bank Annual Meeting 2018 in Nusa Dua, Bali, Indonesia, October 12, 2018. REUTERS/Johannes P. Christo

චන්ද්‍රිකා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වයට ?

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ක්‍රියාකාරී දේශපාලනයට ගෙන ඒමට ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් දැරූ උත්සාහය අසාර්ථක වී තිබේ. එම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය යලිත් පන ගන්වා එහි නායකත්වයට චන්ද්‍රිකා පත් කර ගැනීමට නියමිතය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෝ නැගුවේ චන්ද්‍රිකා – මංගල – රුවන් ඇතුළු කණ්ඩායමකි. එහි සලකුණ වන බුලත් කොළය චන්ද්‍රිකා විසින්ම අඳින ලද්දක් බව පැවසේ. පොහොට්ටුවෙන් කැඩී යන පැරණි ශ්‍රීලනිප සාමාජිකත්වය චන්ද්‍රිකා වටා යලි එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා නව දේශපාලන ගමනක් ආරම්භ කරන්නට නියමිතය. ඒ සමඟම පැරණි වමේ පක්ෂ කීපයක් හා නායකයන් කීපයක්ද එජනිස සමඟ එක්වන්නට නියමිතය.

ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම කා සමඟ ද ?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ පොහොට්ටුවේ පිරිසක් එනම් ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායම ගොඩනගන නව සන්ධානයේ පළමු රැස්වීම් මාලාව 2024 ජනවාරි මාසයේ ආරම්භ කරන්නට නියමිතය. මේ වන විට ඒ සඳහා සියලු කටයුතු රටවටා සිදු කෙරෙමින් පවතී. රාජපක්ෂවරුන් සමඟ කටයුතු නොකරන පොහොට්ටු මන්ත්‍රීවරු රැසක් මීට සම්බන්ධව සිටිති.එහෙත් ජනාධිපති රනිල් හා පොහොට්ටුව නිල වශයෙන් එක්ව ගමන් කිරීම සඳහා මේ වන විට අඩිතාලම දමා අවසන් බැවින් මේ කණ්ඩායම සමඟ එම කටයුතු කෙලෙස සිදු කරන්නේද යන්න පැහැදිලි නැත. ලන්සා – නලීන් ප්‍රනාන්දු කණ්ඩායමට රාජපක්ෂලා සමඟ කතෝලික ඡන්ද ලබා ගත නොහැක. රනිල් පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් ලන්සා – නලීන් කණ්ඩායම වෙනත් විකල්පයක් සොයා ගත යුතුය. එහෙත් දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවද සදාකාලික සත්‍යයකි.

එජාප විශේෂ රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන් සිරිකොතේ

ඉදිරි මැතිවරණ හා පක්ෂයේ 2024 නව වැඩ පිළිවෙල සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් පිරිසක් ලබන සඳුදා සිරිකොත මූලස්ථානයේදී හමුවීමට නියමිතය. මෙහි මුලසුන දරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. 2024 ජනවාරි සිට නව නිලධාරී මණ්ඩලයක් සමඟ එජාප නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. 2024 මැතිවරණ වර්ෂයක් වන බැවින් නව නිලධාරී මණ්ඩලය තීරණාත්මක සාධකයකි. මේ වන විට ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ ජනාධිපතිවරණයත්, මහා මැතිවරණයත් යන දෙකම 2024 පවත්වන බවය. එහෙත් මුලින් කුමන මැතිවරණය පවත්වන්නේ දැයි දන්නේ ජනාධිපතිවරයාම පමණි.

ක්‍රිකට් අර්බුදයෙන් ගොඩ යන්නේ කවුද?

ක්‍රිකට් අර්බුදය තවමත් විසඳී නොමැත. මීළඟ කැබිනට් සංශෝධනයේදී රොෂාන් රණසිංහගෙන් ක්‍රීඩා ඇමති ධුරය ගලවා එය S.B දිසානායක වෙත ලබා දීමට නියමිත බවට රාවයක් පවතී. S.B දිසානායක දක්ෂ හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වුවද මේ මොහොතේ රොෂාන් රණසිංහ ගෙන් ක්‍රීඩා ඇමති ධුරය ඉවත් කිරීම යනු දේශපාලනිකව ජනාධිපතිවරයා සිදු කර ගන්නා විශාලතම පාඩුවකි. එයින් රොෂාන් රණසිංහ වීරයෙකු වන අතරේ චුදිත ක්‍රිකට් පරිපාලනය රැක ගැනීම සඳහා ක්‍රීඩා ඇමතිවරයෙකු වෙනස්කළ ජනාධිපතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ ඉතිහාසගත වනු ඇත. එසේම ලබන වසරේ ජනාධිපතිවරණයකට මුහුණ දෙන රනිල් වික්‍රමසිංහ හට එරෙහිව එය මැතිවරණ වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් වනු ඇත.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව හා කුසලා සරෝජිනී වීරවර්ධන විනිසුරුවරියගේ වාර්තාවන් පදනම් කරගෙන ක්‍රීඩා ඇමතිවරයා තීරණ ගත් බව පැවසේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හරින්නට පෙර නිසි ක්‍රමවේද කීපයක් අනුගමනය කරන්නට ඇමතිවරයා කටයුතු කර නොමැති බව අනෙක් පාර්ශව පවසති. එහෙත් රටේ මුලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ක්‍රීඩා පනත අනුව තමන්ට ලැබී ඇති බලතල අනුව ඇමතිවරයා කට යුතු කර ඇති බව පෙනේ.

කැබිනට් ලේකම් කිව්වේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවක්ද ?

මින් ඉදිරියට ක්‍රීඩා සංගම් විසුරුවා හැර අතුරු කමිටු පත් කරන්නට පෙර කැබිනට් මණ්ඩලයේ අවසරය ගත යුතු බවට කැබිනට් ලේකම්වරයා විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා වෙත දන්වා යවා තිබේ. ක්‍රීඩා ඇමතිවරයාට අනුව කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගෙන නැත. එසේනම් කැබිනට් ලේකම්වරයා එවැනි තීරණයක් ක්‍රීඩා ලේකම්වරයාට දන්වා යැවීම ගැටලුවකි. අනෙක් අතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රීඩා පනතෙන් ක්‍රීඩා ඇමතිට ලැබී ඇති බලතල අභිබවා යන්නට කැබිනට් මණ්ඩලයට හැකියාවක් නොමැත. එහෙත් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ලෙස එය ක්‍රීඩා ලේකම්වරයාට දන්වා යැවීමෙන් අධිකරණයේ විභාග වන නඩුවකට යම් බලපෑමක් එල්ලවීම වැළක්විය නොහැක. ඒ හරහා පෙත්සම්කාර පාර්ශ්වයට අනියම් වාසියක් අත්වීමට ඉඩ තිබේ.

පාර්ලිමේන්තු බලය

රටේ මිලියන 22 ක ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 225 දෙනෙකි. ඒ 225 අතරින් ක්‍රීඩාව සම්බන්ධයෙන් ජනතාවගේ මතය නියෝජනය කරන්නේ ක්‍රීඩා ඇමැතිවරයාය. ඒ හැර ඔහු පොහොට්ටුවේ හෝ වෙනයම් පක්ෂයක ක්‍රීඩා ඇමති නොව රටේ ක්‍රීඩා ඇමැතිවරයාය. අනෙක් අතට මෙහි ඇති සුවිශේෂීම තත්ත්වය නම් මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුවත් විපක්ෂයත් එක්ව වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය නම් පාවිච්චි කිරීමය. එය ඒකමතික තීරණයක් වූ බැවින් එම තීරණය මෙරට මිලියන 22 ක්වූ සමස්ත ජනතාවම නියෝජනය කරන්නකි. එම තීරණයට අභියෝග කරන්නට හැකිද ? පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නේ නම් තත්ත්වය තවත් බැරෑරුම්ය.

අරමුදල තර කිරීම සත්‍යයක් වුවත් මුදල් භාවිත කළ යුත්තේ රටේ නීතියටද ?

ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි ඔවුන් ක්‍රිකට් ආයතනය සතු අරමුදල් වර්ධනය කර තිබේ, එය සාධනීය කටයුත්තක් වුවද එම මුදල් ඔවුන්ගේ මුදල් නොවේ. ඒ අනුව තමන්ගේ හිතමිතුරන්, ඥාතීන්, නිලියන් හා නිරූපිකාවන් රැගෙන විදෙස් සංචාර වල යෙදෙන්නට මෙම අරමුදල් භාවිතකළ නොහැක. ඒ සඳහා පුද්ගලික මුදල් යෙදෙව්වද ශ්‍රීලංකා ක්‍රිකට් නාමය භාවිතකළ නොහැක. එසේම ක්‍රිකට් තරග පවත්වන්නේ ජනතා බදු මුදලින් සාදන ලද ක්‍රීඩාංගන වලය. එසේම ශ්‍රීලංකාවේ ජාතක ක්‍රිකට් කණ්ඩායම යන නාමය භාවිත කරන විට එය අපේ රටේ සියලු දෙනාට අයත්ය. ජාතික කොඩිය භාවිත කරන නිසාද එය රටේ ජනතාවට අයත්ය. යම් ලෙසකින් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ලෙස ඔවුන් පෙනීසිටියේ නම් ඔවුන්ගේ තර්කය නිවැරදි වන්නට ඉඩ තිබිණි, එපමණක් නොව ශම්මිලාගේ තර්කය සතයක් නම් රටේ අවසරයක් නැතිව ශ්‍රී ලංකා නාමය යටතේ ඕනෑම ශ්‍රීලාංකික පුරවැසියෙකුට ඕනෑම ජාත්‍යන්තර තරඟයක් නියෝජනය කරන්නට අවස්ථාව තිබේ. එහෙත් නීත්‍යානුකූලව එවැනි දේ කළ නොහැක.එසේම රට තුල හෝ ජාත්‍යන්තරයේ ක්‍රිකට් කණ්ඩායම තරඟ කරන විට කණ්ඩායම සඳහා ක්‍රීඩා ඇමති වරයාගේ අවසරය ලබා ගත යුතුය. එයින්ද පෙනීයන්නේ ක්‍රිකට් සඳහා ක්‍රීඩා පනතෙන් ඇමතිවරයාට ඇති බලතලයි.එසේම ක්‍රිකට් සඳහා සමස්ත මන්ත්‍රීවරු 225 ම එක්වීමෙන් එහි දේශපාලනයක් නොමැති බව රටටත් ලොවටත් පෙන්නුම් කර තිබේ.තවද ක්‍රිකට් ප්‍රශ්නයට ඉන්දියාව ඈඳා ගැනීමෙන් සිදු වුයේ ලෝක කුසලාන අවසන් තරගයේදී සමස්ත ශ්‍රීලාංකික ජනතාවගේ සහය ඔස්ට්‍රේලියාවට හිමිවීමය.

කෙසේ වෙතත් ශ්‍රීලංකාව වෙනුවෙන් ICC යට ලිපි තුනක් ලිවීමේ සිද්ධිය සරල කාරණයක් නොවේ. ඒ හරහා ක්‍රිකට් තහනමට බලපෑමක් එල්ලවී තිබේ. එය රටට එරෙහිව යාමක් නිසා දැනට පියවරක් නොගත්තද අනාගතයේ කවර දිනයක හෝ රටට එරෙහිව කටයුතු කිරීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත.

රොෂාන්ට හිතවත් යයි චෝදනා මත පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්ට මාරුවක්

මේ වන විට රොෂාන් රණසිංහට පන්න පන්නා ගහන්නට රජයේ පාර්ශව කටයුතු කරමින් සිටී. රොෂාන්ගේ වහනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර රොෂාන්ට පක්ෂපාතී බව පවසමින් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා මාරුකර යැවීමට නියමිතය. මේ සියල්ලෙන් සිදුවන්නේ රොෂාන් වීරයකු බවට පත්වීම හැර වෙනත් දෙයක් නොවේ. රෝශාන්හරිද ? වැරදිද ? යන ප්‍රශ්නයට වඩා ජනතාව මෙම ප්‍රශ්නයේදී සිටින තැන ගැන අවබෝධයක් රජයට තිබිය යුතුය. ජනාධිපතිවරයා මේ මොහොතේ තම දීර්ඝකාලීන දේශපාලන අවබෝධයෙන් මේ ප්‍රශ්නය මෙහෙයවීම සිදුකළ යුතු අතර තමා වටේ සිටින පිරිස් වල පෙළඹවීම් වලට ගන්නා තීරණ වලට වන්දි ගෙවන්නට සිදුවන්නේ දේශපාලනිකව ය.

ICC සභාපති ග්‍රේග් බාර්ක්ලේ ශ්‍රී ලංකාවට

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැනවර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට යොමුකළ ඊමේල් පණිවිඩයකට පිළිතුරු ලබා දෙමින් මෙලෙස දැනුම් දී තිබේ. රටේ නීතිය, පාර්ලිමේන්තුවේ තීරණය හා ක්‍රිකට් ව්‍යුහය මෙන්ම දුෂණ චෝදනා යන සියල්ල පිලිබඳ සත්‍ය තත්ත්වය ඔහුට වටහාදී ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම හැර ICC ප්‍රධානියාටද කොලේ වසන්නට ගියහොත් සිදුවන්නේ තවදුරටත් මේ ප්‍රශ්නය උග්‍රවීම හැර වෙනකක් නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා කමිටුවල බලය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අදාළ විෂය සම්බන්ධයෙන් ඇමතිවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාට ඇති බලය කැබිනට් මණ්ඩලයට හෝ වෙනත් පුද්ගලයෙකුට වෙනස්කළ නොහැක. කෘෂිකර්ම ඇමති හා කෘෂිකර්ම ලේකම්වරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ආහාර සුරක්ෂිතතා කමිටුව භාවිත කරනු පෙනේ.මේ නිසා රටේ අවශ්‍ය තීරණ අවශ්‍ය වෙලාවට ගන්නා බවක් නොපෙනේ. අනෙක් අතට එම කමිටුව ගන්නා තීරණ වලින් ගොවීන්ගෙන් නිසි මිලට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමක් හෝ පාරිභෝගිකයාට අඩු මිල භාණ්ඩ ලැබීමක් හෝ වෙළඳ පොලේ මිල අඩුවීමක් හෝ සිදු නොවේ. බොහෝ අවස්ථා වල සිදුව ඇත්තේ ඒම තීරණ හරහා පුද්ගලික සමාගම් කීපයක් අසීමිත ලාභ ලැබීමය.මේ නිසා මේ කමිටු සම්බන්ධයෙන් කවුරුන් ආණ්ඩුකළ ද නිවැරදි තීරණ ගත යුතුව තිබේ.

ණයවල ඇත්ත තත්ත්වය

ශ්‍රීලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 88 කට ආසන්නය. මෙයින් ඩොලර් බිලියන 47 ක් දේශීය ණය වන අතර විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 41 කි. අප මුලික වශයෙන් සියලුම ද්‍රව්‍ය විදෙස් රටවලින් ආනයනය කරන රටකි. සුදු ළූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු, කොමඩු, කිරි අල, අන්නාසි, මෑ කරල්, කජු ආදී මෙරට වැවෙන බෝග කිහිපයක් ගෙන්වන්නට පසුගිය වසරේද ඩොලර් මිලියන 295 ක් වැය කොට ඇත. මේවා පිටරටින් ගෙන්වන්නට ඉඩදී වෙළඳ ඇමතිවරයා කුමක් කළේ ද යන්න අප දන්නේ නැත. ඇතැම් විට මේවා ගෙන්වන්නට අවසර දුන්නේ ආහාර සුරක්ෂිත කමිටුවදැයි අප දන්නේ නැත.

දේශීය නිෂ්පාදනය සහ “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන”

අපේ රටේ මුලික ප්‍රශ්නය දේශීය නිෂ්පාදනයක් නොමැති කමය. ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් තිබිය යුතුය. කවුරු බලයේ සිටියත් දේශීය නිෂ්පාදනය දියුණු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. මේ සඳහා වෙනත් රටවල මෙන් නිෂ්පාදන ගම්මාන ඇති කළයුතුව තිබේ.

පසුගිය කාලයේ දේශීය නිෂ්පාදනය වැඩිකිරීම සඳහා නිෂ්පාදන ගම්මාන ඇති කිරීම රටපුරා සාර්ථකව දියත්වෙමින් තිබිණි. ඒ “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” වැඩපිළිවෙල යටතේය. මේ වැඩපිළිවෙල මෙරට දියත් කළේ ශ්‍රීලංකා පරිපාලන සේවයේ අතිදක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසිනි. ඒ යටතේ රට පුරා නිෂ්පාදන ගම්මාන 576 ක් ඇති කෙරිණි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යටියල්පතාන ගමේ බෝගන්විලා මල් ඇතුළු මල් වර්ග නිෂ්පාදන ගම්මානයක් ඇතිකළ අතර එහි ඊට දායක වූ පවුල් රුපියල් ලක්ෂ එකහමාරක මාසික ආදායමක් ඉපයුහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පූසියන්කුලම ගම්මානයේ නිල් මානෙල් වැවීම සාර්ථක සිදු කරන ලද අතර මල් දහස බැගින් දිනපතා අටමස්ථානයට ගෙන ඒමෙන් ගම වැසියෝ විශාල ආදායමක් ලැබුහ.පුත්තලම හා මොනරාගල පිච්චමල් ගම්මාන ඇති කරන ලද්දේ දිනපතා විදෙස් රටවලින් පිච්ච මල් ගෙන්වීමේදී විදෙස් රටවලට ඇදී යන විදේශ විනිමය රැක ගන්නටය. පලුගස්වැව සංචාරක ගම්මානයක් ඇති කරන ලද අතර බෝට්ටු සේවා ඇතුළු නවාංග එක්කරමින් සමස්ත ගම්වැසියන්ට ආදායම් මාර්ග ඒ හරහා ඇති කරන ලදී. මේ ආකාරයට බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන ගම්මාන, බිම් මල්, සුරතල් මසුන් ගම්මාන, තල් නිෂ්පාදන, කිතුල් නිෂ්පාදන, කඩදාසි කෝපි වගා ගම්මාන, මන්දාරම් නුවර බීජ බෝංචි ගම්මාන ආදී ගම්මාන රැසක් ඇති කරන ලදී. එය ක්‍රමක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වෙමින් පවතිද්දී කිසියම් හේතුවක් මත හදිසියේම නතර විය. හේතුව දන්නේ දෙවියන්ම පමණි. යම් ලෙසකින් මේ නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක වුවා නම් ඒ හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වන්නේ රටට විදේශ විනිමයද උපයා දෙමිනි. මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකොට දේශීය නිෂ්පාදනය දියුණුකළ නොහැක. මෙහි මීළඟ අරමුණ විය යුත්තේ ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කොට විදේශ විනිමය ඉපයීමේ ධුරදර්ශී වැඩපිළිවෙලකි.

ඩයනා දැමු නඩුවෙන් සජිත් – රංජිත් ජය ගනිති.

සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට එම ධුර දැරීමට නිත්‍යානුකූල හැකියාවක් නොමැති හෙයින් එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන පසුගියදා ප්‍රතික්ෂේප කළේය.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර සමගි ජනබලවේගය පක්‍ෂයේ තනතුරු වල කටයුතු කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගොනුකළ පෙත්සමකට අදාළ තීන්දුව දෙමින් දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඩයනා ගමගේ මහත්මිය ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් නම් කොට තිබිණි.

සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවරූ නඩු අධිකරණවල තවමත් විභාග වෙමින් පවතින බවත් සඳහන් කරන ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන පුද්ගලයින්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දැරිය නොහැකි බවද පෙන්වා දුන්නාය.

වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන හෙයින් ඔවුන්ට සමගි ජන බලවේගයේ සාමාජිකත්වය මෙන්ම තනතුරු දැරීමට හැකියාවක් නොමැති බවට තීන්දු කොට ඔවුන් එම ධුර වල කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගය අවසානයේදී සිය තීන්දු ප්‍රකාශයට පත් කළ දිසා විනිසුරුවරයා පෙත්සම්කාරිය ඇතැම් කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයයි අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.

වගඋත්තරකරුවන් අදාළ ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසරුවරයා නඩුවට අදාල උත්තර ලබන වසරේ පෙබරවාරි 12 වැනිදා ගොනු කිරීමට පාර්ශවකරුවන්ට නියම කළේය.”

ඉන්දියාවට ගිය රාජිතට සීතාරාමන් මුදල් ඇමතිවරිය හමුවෙයි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හට පසුගියදා ඉන්දියාවේ මදුරෙයි ජාත්‍යන්තර ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සිතාරාමන් පසුගිය දිනෙක මධුරෙයි ගුවන්තොටු පලේදී හමුවිය. දෙදෙනා අතර ආගිය තොරතුරු හුවමාරු විය. ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම හෙද පුහුණු විශ්ව විද්‍යාලයක හිමිකරුවකු වූ වෛද්‍ය රජපාලම්ගේ විවාහ උත්සවයට සහභාගිවීම සඳහාය. රාජ්‍ය ඇමති චාමර සම්පත්ද මේ සඳහා ගොස් තිබිණි.ලොව පුරා විවිධ පුද්ගලයින්ට ඒ සඳහා ආරාධනා කර තිබිණි. සුවිශාල මංගල උත්සවයක් වූ ඊට සහභාගිවූ ආරාධිතයන් පිරිස අනු දහසකි.
මධුරෙයි හි පිහිටි සුප්‍රසිද්ධ මීනාච්චි කෝවිල වෙත ගිය රාජිත දෙවාශිර්වාදයද ලබා ගත්තේය.

බැංකු දහයක් පොලී අනුපාත කඩලා – මහා බැංකු අධිපති

කෙසේ වෙතත් මහ බැංකුව බලාපොරොත්තු වන මට්ටමට පැමිණීමට බැංකු දහයක් තවමත් අසමත් වී ඇති බවත් දෙසැම්බර් මස 31 වන විට ඒ මට්ටමට පොලී අනුපාත ගෙන එන ලෙස දැනුම් දී ඇති බවත් මහ බැංකු නිර්නායකයන් අනුව ඒ මට්ටමට නොපැමිණියහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ඉදිරියේදී වෙළෙඳපොළ පොලී අනුපාත තවදුරටත් පහළ යාමට නියමිත බව පවසන මහ බැංකුවේ අධිපතිවරයා ව්‍යාපාර වලට, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට, අනිකුත් ව්‍යාපාර සදහා ණය දෙන පොලී අනුපාත තවදුරටත් අඩු යුතු බවත් ඒ ගැන මහ බැංකුව සමීප නිරීක්ෂණයක සිට සිටින බවත් කියා සිටී.

එපමණක් නොව මෙරට බැංකු අසාධාරණ ගාස්තු රැසක් අයකරමින් පාරිභෝගිකයන් ගසා කමින් වාර්ෂිකව බිලියන ගණන් ලාභ උපයමින් සිටී. බැංකු ලාභ උපයන්නේ ගනුදෙනුකරුවන් හා ව්‍යාපාරික සමාගම් ගසා කමිනි. එම නිසා වෙනත් රටවල මෙන් උපරිමව ලාභ තබාගත හැකි සීමාවන් බැංකු හා මූල්‍ය ආයතන සඳහා පැනවිය යුතුය. එසේම කවුන්ටරයෙන් මුදල් ලබා ගැනීමේදී දඩ මුදල් අය කිරීම , කිසියම් මුදලකට වඩා අඩුවෙන් මුදල් ආපසු ගැනීමේදී මුදල් අයකිරීම වැනි අසාධාරණ ගසා කං වලට එරෙහිව නීති මය පියවර හා සුවිශාල දඩ පැනවිය යුතුය.

හිටපු ජනපතිවරුන්ට දයාසිරි බය ද ?

ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය වැරදි පූර්වාදර්ශයක් බව කී ජයසේකර මහතා රටේ තිබෙන ඉහළම තැනට ගිය පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සදාචාරයක් ඇති වැඩක් නොවේ යැයිද කීය.
ජේ.ආර් ජයවර්ධන මෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්ම මහත්මීන් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම ගැන ස්තුතිවන්ත වන බව කී ජයසේකර මහතා ඔවුන් පාර්ලිමේන්තුවට නැවත නොපැමිණ තමන්ගේ ගෞරවය තබාගෙන කටයුතු කළ බව පැවසීය.රනිල් වික්‍රමසිංහ මහතාත් ඊළඟ වසරේ මහ මැතිවරණයට ඉල්ලා පාර්ලිමේන්තුවට ඒවි ද නොදන්නා බවද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් දේශපාලනඥයින්ගේ රැකියාව දේශපාලනයයි. ගයක ගායිකාවන්ට මිය යන තුරු ගී ගයන්නට හැකිනම්, නළු නිළියන්ට මැරෙනතුරු රඟපාන්නට හැකිනම් , මාධ්‍යවේදීන්ට මැරෙනතුරු මාධ්‍යකරණයේ යෙදෙන්නට හැකිනම් දේශපාලනඥයින්ට ද ඒ සඳහා අවස්ථාව තිබිය යුතුය. එහිදී ඔවුන් ඊට සුදුසු හෝ නොසුදුසු භාවය රටේ ජනතාව තීරණය කරනු ඇත. ජනතා විශ්වාසය ඇතිතාක් ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුව තිබේ. අනෙක් අතට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ධුරයෙන් සමුගන්න විට ඔහුට දේශපාලනයේ නැවත යෙදෙන්නට හැකි වයසක ඔහු නොසිටි අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ලිමේන්තුවට නොපැමිණියද ඇය තවමත් සක්‍රිය දේශපාලනයේ යෙදෙන්නීය. අත්දැකීම් බහුල නායක නයිකාවන්ගෙන් අපේ රට ප්‍රයෝජනයක් ගත යුතුව තිබේ.

ටෙලිකොම් බංකොලොත් කර තායිලන්තයේ ජීවත්වන නිලධාරියා SLT CEO තනතුරට?

ශ්‍රීලංකා ටෙලිකොම් වෘත්තීය සමිති ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණයට එරෙහිව සංකේත වැඩවර්ජනයක් සිදු කළ අතර එය ටෙලිකොම් ආයතනය පුද්ගලීකරන තීරණය ඉවත් කර ගන්නා තුරු දිගටම කර ගෙන යාමට නියමිතය. මේ අතර ටෙලිකොම් ඉහළ තනතුරු දරන ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය බංකොලොත් කර නිවාඩු ලබා දැනට තායිලන්තයේ සිටින හිටපු ටෙලිකොම් ප්‍රධාන නිලධාරියකු යලිත් එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිති. ඒ අනුව දැනට සිටින ප්‍රධාන විධායක නිලධාරියා ඉවත් කර ඉහත කී නිලධාරියා එම තනතුරට පත් කර ගැනීමට නියමිතය. මෙම ටෙලිකොම් ඉහළ නිලධාරීන් පිරිස අදාළ නිලධාරියා විසින් අනීතික ලෙස උසස්වීම් ලබා දුන් පිරිසකි. මෙහි පියවරක් ලෙස දැන් සිටින ඉංජිනේරු සංගම් වෘත්තීය සමිතියේ ඉහළ නිලධාරීන් පන්නා දමා නව නිලධාරීන් පිරිසක් පත් කර ගැනීමට නියමිතය. ටෙලිකොම් ආයතනයේ ප්‍රධානම තනතුරු ඉංජිනේරුවන් දරන බැවින් ඒ සඳහා බලපෑම් කිරීම වෘත්තීය සමිති බලය අත්පත් කර ගැනීමේ අරමුණවී තිබේ. කෙසේ වෙතත් මේ සඳහා ටෙලිකොම් කොටස් හිමි සමාගම්වල අධ්‍යක්ෂවරුන් විරෝධය පල කර තිබේ.

ටෙලිකොම් විකුණුම් මිල අඩුකරන්නට බිලියන ගණනක වත්කම්වල වටිනාකම් වෙනස් කරලා?

මේ අතර පුද්ගලීකරණය සඳහා ටෙලිකොම් ආයතනය සතු වත්කම් ගණනය කිරීම මේ වන විට ආරම්භ වී තිබේ.එසේ ටෙලිකොම් ආයතනයේ දැනට ඇති වත්කම් ගණනය කිරීමේදී වත්කම් බිලියන ගණනක් අඩුවෙන් වටිනාකම් ගණනය කිරීම සඳහා බලපෑම් එල්ලවෙමින් පවතී.

ඒ අනුව ටෙලිකොම් ආයතනය සතු නව උපකරණ, කේබල්, ෆයිබර් ආදී බිලියන ගණන් වටිනා උපකරණ පැරණි උපකරණ ලෙස බිලියන ගණනක් අඩුවෙන් වත්කම් ගණනය කිරීම සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති නීතිමය පියවර ගැනීමටත් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නටත් නියමිතය.

මීළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට තරඟවදින ශ්‍රී ලාංකික දේශපාලනඥයා

2026 දෙසැම්බර් 31 වැනිදා වර්තමාන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ගේ ධුර කාලය අවසන් වීමට නියමිතය. ඒ අනුව මීළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරය සඳහා ශ්‍රීලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ද තරඟ වැදීමේ සුදානමින් සිටී. එය මුලින් ශ්‍රීලංකා රජය යෝජනා කළ යුතු අතර පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අනුමත කළ යුතුය. එහිදී ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය රුසියාව හා චීනය යන නිශේධ බලය හිමි රටවල් පහෙන් එක රටක් හෝ විරෝධය පල කළහොත් යෝජනාව පරාජය වේ. අනතුරුව සාමාජික රටවල් 193 අතරින් වැඩිම ඡන්දයෙන් නව මහා ලේකම්වරයා පත් කර ගැනේ. මේ සඳහා අවශ්‍ය සියලු කාරණා සහ සහයෝගයන් මේ වන විට අදාළ දේශපාලනඥයා සම්පූර්ණ කරගනිමින් සිටින අතර ඔහුගේ ගමන් මග දෙස පැහැදිලිව අවධානය යොමු කරන්නේ නම් ඒ සඳහා ඔහුගේ ගමන් මාර්ගය පැහැදිලිව පෙන්නුම් කෙරේ. කෙසේ වෙතත් වර්තමාන දේශපාලන වටපිටාව හා ලබන වසරේ මැතිවරණ මේ සියල්ල තීරණය කරනු ඇත. යම් ලෙසකින් එය සාර්ථක වුවහොත් 2027 ජනවාරි පළමු වැනිදා සිට එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ ශ්‍රීලාංකිකයෙකු වීමේ ඉඩකඩ බොහෝය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan