තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක් බවත් තමන් පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි එළාගෙන, විවිධ ප්රස්තාර අඳිමින් ඒ අයවැය තුලනය කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“හොඳට මතක තියාගන්න, අපේ අයවැය ලේඛනය තුලනාත්මකයි. පෞද්ගලිකව මමත් – අපි – දින ගණනාවක් ඇති තරම් කඩදාසි එළාගෙන, එක එක වර්ගයේ ස්ථම්භ ප්රස්තාර, වක්ර ප්රස්තාර ඔක්කොම ඇඳ ඇඳ, අපි කරේ මොකක්ද ? අයවැය තුලනය කරා. අයවැය තුලනය කියන එක වැදගත්. අපි මෙහෙම රවුමක් ඇඳලා ඒ රවුමේ ණය වාරික කොච්චරද, ඒක මේ පාටට. ඒකෙ වැටුප් විශ්රාම වැටුප්වලට කොච්චරද ඒක මේ පාටට. ඒකෙ ප්රාග්ධන කොච්චරද ඒක මේ පාටට. ජනතාවගේ සුබසාධනවලට කොච්චරද, ඒවා මේ පාටට කියලා මොකද කරේ මේ චක්රය, මේ වක්රය, මේ රවුම, ඒකට අපි මොකද කළේ ? තුලනය කළා. ඒ නිසා මේක ඉදිරිපත් කරලා තියෙන්නෙ කොහොමද ? ණය ගෙවීම, ප්රාග්ධන වියදම්, වැටුප් සහ සමාජ සුබසාධනය කියන එක තුලනාත්මකව තමයි අපි මේ අයවැය ලේඛනය කියන එක ඉදිරිපත් කරලා තිබෙන්නෙ. මේක බිඳිනවා නම් ? මේක බිඳිනවා නම් තව පැත්තකට අහිතකර ප්රතිඵලයක් එනවා. අපේ වැටුප් කියන ප්රස්තාරය වැඩිකරනවා නම් අපි මොකක්ද කරන්න ඕනෙ ? ප්රාග්ධන කියන එකෙන් මෙහෙට ගන්න ඕනෙ. එහෙම කරන්න බෑ. මොකද අපිට වළක්වන්න බෑ මොකක්ද, ණය වාරිකය ගෙවන එකයි පොලී වාරිකය ගෙවන එකයි අපි කපන්න බෑ. ඒකට අපි බැඳිලා ඉන්නවා. එතකොට අපේ වියදම්වලින් බිලියන 4850ක්ම අපට වෙනස් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අපි ගෙවන්න ඕනෙ. රාජ්ය සේවක වැටුප් හා විශ්රාම වැටුප් අඩුකරන්න බෑ. වැඩිකරලා බිලියන 2185ක් ගෙවන්න බැඳිලා ඉන්නවා. එහෙනම් අපිට ඉතුරුවෙලා තියෙන්නෙ කොතනද ? සමාජ සුබසාධනයයි, ප්රාග්ධන වියදමුයි. මම හිතන්නෙ අපි කිසිසේත්ම ලෑස්ති නෑ ප්රාග්ධන වියදම් අඩුකරන්න. මොකද ඒක තමයි රටේ අනාගත ආයෝජනය. මම කියන්න කැමතියි ලංකාවේ ලොකුම ආයෝජකයා ලංකාවේ ආණ්ඩුව”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹදී පැවති ‘අයවැය සහ වැඩකරන ජනතාව’ – වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමිනි.


