කොළඹ LNW: රට පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ අවධානම් ස්ථානවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම පොලීසිය, හමුදාව සහ නිලධාරීන් විසින් සිදු කරගෙන යන අතර ඔවුන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව තමන්ගේ හා සමීපතයන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත්, ආපදාවන්ට ලක් වු ජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.
කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු මුළු දිවයිනේම දැනට පවතින ආපදා මට්ටම සම්බන්ධව අද (28) සූම් තාක්ෂණය හරහා පැවැත්වුණු සාකච්ඡාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කරන ලදී.
මෙහිදී රට පුරා පවතින අවදානම් තත්ත්වය සම්බන්ධව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ අන් සියල්ලටම වඩා ජීවිත බේරා ගැනීම රජයේ ප්‍රධාන ඉලක්කය බවයි. මේ මොහොතේ මුළු රටම ජාතික ආපදාවකට මුහුණ දෙමින් සිටින බවත් එහිදී සියලු දෙනා ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍යතාවය පවතින බවත් ඊයේ දිනයේ සිට පවතින අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ අවදානමට සහ ආපදාවට ලක්වී සිටින ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සියලුම ආයතන සහ සියලු නිලධාරීන් විශාල මැදිහත්වීමක් සිදුකිරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.
මේ අතර සියලු මාධ්‍ය ආයතන මේ මොහොතේ තොරතුරු සන්නිවේදනයේ දී ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියාය.
දරුවන් කාන්තාවන් ඇතුළු සියලු ජනතාවගේ සනීපාරක්ෂාව සහ සුරතල් සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශව වෙතින් ඇය ඉල්ලා සිටියේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 25ම අවදානමට ලක් වී ඇති මේ මොහොතේ සෑම දිස්ත්‍රික්කයකටම අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ සියලුම පහසුකම් ලබාදීමට කටයුතු සූදානම් අර ඇති අතර හදිසි අවශ්‍යතා සඳහා බිලියන 30ක මුදලක් ද ආපදා සහ සහන සේවා කටයුතු සඳහා බිලියන 1.2 මුදලක් ද වෙන් කොට ඇති අතර අමතරව අවශ්‍ය නම් තවත් මුදල් වෙන් කිරීමේ කටයුතු සිදු කරන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර සිටියාය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ , තිඹිරිගාස්යාය, කඩුවෙල කොලොන්නාව , සීතාවක, පාදුක්ක, හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වැඩි අවදානමට ලක්වෙන ප්‍රදේශ ලෙස හඳුනාගෙන තිබේ.
එම ප්‍රදේශවල අවදානමට ලක් වූ ස්ථානවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාම දැනට මූලිකව සිදුකරමින් සිටින අතර අනෙකුත් ප්‍රදේශවල මාර්ග සහ ජලය බැස යාමේ ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු දැනටමත් සිදු කරමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළව රෝගාතුරව සිටින පිරිස්, වැඩිහිටි ප්‍රජාව සහ ආබාධවලට ලක් වූ ජනතාව රෝහල් වෙත භාරගැනීමට දිස්ත්‍රික්කයේ රෝහල් සූදානමින් සිටිනවා මෙන්ම ආපදාවට ලක්වුණු ජනතාවට ආහාර සැපයීමට ද කඩිනමින් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරිය පවසන ලදී.
එමෙන්ම ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම සිදු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා සිදුකරමින් ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ කර සිටියා ය.
මෙම සාකච්ඡාව සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික අපදා කළමනාකරන මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සම්බන්ධ වී ඇත.
