රාජ්‍යමූල්‍ය කළමනාකරණ පණතේ නියෝග අනුව, පසුගිය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එම වාර්තාවෙහි අගෝස්තු මාසය අවසන් වන විට පැවති රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳව විස්තරාත්මක තොරතුරු අඩංගු වුනා.
ඉහත වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ වෙද්දී, සැප්තැම්බර් මාසය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරුද ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, පෙනී යන්නේ සැප්තැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රජයේ රාජ්‍යමූල්‍ය තත්ත්වය තවත් හොඳ අතට හැරී ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ව ආර්ථික මෙහෙයුම් ඉලක්ක ලබා දී තිබෙන්නේද එක් එක් කාර්තුවේ අවසානය සඳහා බැවින් ඉහත සංඛ්‍යාලේඛණ ස්ථායීකරණ වැඩ සටහනෙහි ඉලක්ක සමඟ සෘජුව සැසඳිය හැකියි.
බදු ආදායම
දෙවන විමර්ශනයේදී අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව 2024 තෙවන කාර්තුව අවසානයේදී රජයේ බදු ආදායම අවම වශයෙන් රුපියල් බිලියන 2,400ක් විය යුතුයි. එහෙත් රජය විසින් සැබෑවටම එකතු කරගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 2,688.57ක්. මෙයින් පෙනී යන්නේ පසු ගිය කාලය තුළ බදු එකතු කර ගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වී ඇති ආකාරයයි.
තෙවන කාර්තුව අවසානයේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 288.57කින් හෙවත් 12.0%කින් ඉලක්කය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම පසු ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව බදු ආදායමෙහි 39.0%ක වර්ධනයක් දැකිය හැකියි.
සමස්ත ආදායම
වසරේ මුල් කාර්තු තුන ඇතුළත බදු නොවන ආදායම් ලෙස රුපියල් බිලියන 229.73ක් එකතු වී ඇති අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 30.2%ක වර්ධනයක්. මීට අමතරව ශ්‍රී ලංකා රජයට ලැබුණු ප්‍රදාන වලද 14.6%ක වර්ධනයක් දැකිය හැකියි. මේ අනුව පළමු කාර්තු තුනේ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 2,918.31 දක්වා 38.3%කින් ඉහළ ගොස් ඇති අතර සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,927.79 දක්වා 38.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඉහත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පසුගිය ආණ්ඩුව විසින් පුද්ගල ආදායම් බදු සීමා ලිහිල් කිරීමක් යෝජනා කර ඒ සඳහා මූල්‍ය අරමුදලේ අනුමැතියද ලබා ගෙන තිබුණා. මේ හා අදාළව අලුත් ආණ්ඩුවේ ප්‍රවේශය පිළිබඳව දැනගත හැකි වනු ඇත්තේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
සමස්ත වියදම
වසරේ පළමු කාර්තු තුන ඇතුළත රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,897.77ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව 4.4%ක ඉහළ යාමක්. එයින් රුපියල් බිලියන 463.19ක් ප්‍රාග්ධන වියදම් වන අතර එම වියදම් 14.5%කින් වර්ධනය වී තිබෙනවා. පුනරාවර්තන වියදම් වර්ධනය වී තිබෙන්නේ 3.2%කින් පමණයි.
රුපියල් බිලියන 3,434.58ක් වන පුනරාවර්තන වියදම් වලින් රුපියල් බිලියන 1,754.88ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම පිණිසයි. පොලී වියදම් 1.0%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, පොලී වියදම් හැර රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2,142.89ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙය 7.4%ක වර්ධනයක්. මෙම වර්ධනය රාජ්‍ය ආදායමෙහි 38.3%ක වර්ධනය හා සැසඳූ විට පසුගිය මාස නවය තුළ රාජ්‍යමූල්‍ය කළමණාකරණයේ කාර්ය සාධනය පැහැදිලි ලෙස කැපී පෙනෙනවා.
මූල්‍ය අරමුදල විසින් රාජ්‍ය වියදම් ඉලක්ක සකස් කර තිබෙන්නේ රාජ්‍ය ආදායමට සාපේක්ෂවයි. ලබා ඇති රාජ්‍ය ආදායම අනුව, රජයට උපරිම වශයෙන් රුපියල් බිලියන 2,488.57ක මුදලක් පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් සඳහා වැය කළ හැකිව තිබුණා. එහෙත් රජය විසින් වැය කර ඇත්තේ ඊට වඩා 13.9%කින් අඩු මුදලක්.
ප්‍රාථමික අයවැය ශේෂය
ඉහත සඳහන් කළ පරිදි රජයේ බදු ආදායම් ඉලක්ක ඉක්මවා 12.0%කින් ඉහළ යාමත්, රාජ්‍ය වියදම් ඉලක්කයට වඩා 13.9%ක් අඩුවෙන් පැවතීමත් නිසා ඉලක්කගත ප්‍රාථමික අයවැය අතිරික්තය වූ රුපියල් බිලියන 220ට සාපේක්ෂව පළමු මාස නවය ඇතුළත රුපියල් බිලියන 784.89ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. පැවති ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සැලසුම් කළේ මෙම අතිරික්ත අතිරික්තය සැලකිල්ලට ගනිමිනුයි.
ඉදිරි කාර්තුව හා ඉදිරි ක්‍රියාමාර්ග
අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක අනුව, වසර අවසාන වන විට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 300ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත යුතුයි. එහෙත්, මේ වන විටද ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැනට පවතින ප්‍රවණතාව අනුව, වසර අවසන් වන විට මෙම අතිරික්තය රුපියල් බිලියන 1000 ඉක්මවීම පහසුවෙන්ම සිදු විය හැකි දෙයක්.
මේ තත්ත්වය හමුවේ අලුත් ආණ්ඩුවට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග කිහිපයක්ම තිබෙනවා. පළමුවැන්න යම් බදු සහන ලබා දීමයි. එහිදී රාජ්‍ය ආදායම් අඩු වී ප්‍රාථමික අයවැය ශේෂය අඩු වෙනවා. එහෙත් මෙය අවදානම් කටයුත්තක් වන්නේ අරමුදල විසින් මේ වර්ෂය සඳහා ලබා දී ඇති රාජ්‍ය ආදායම් ඉලක්ක ඉක්මවූවද, දිගුකාලීනව රාජ්‍ය ආදායම් තව දුරටත් වැඩි කරගත යුතුව ඇති නිසා. එමෙන්ම, මෙවැන්නක් කිරීම රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීමේ අලුත් ආණ්ඩුවේ දේශපාලන ඉලක්ක සමඟද ගැලපෙන්නේ නැහැ.
දෙවන විකල්පය වන්නේ පසුගිය ආණ්ඩුව විසින් සැලසුම් කර තිබුණු පරිදි රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වැනි ක්‍රමයකින් වියදම් වැඩි කිරීමයි. එහෙත් එසේ නොකර අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ වෙනත් එවැනි අංශ වල ප්‍රාග්ධන වියදම් වැඩි කිරීමේ හැකියාවක්ද තිබෙනවා. රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වලින් වැඩි කොටසක්ද රාජ්‍ය සේවක වැටුප්ම බැවින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මගින්ද අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් ඉහළ දැමූ බව පෙන්විය හැකියි. දැනට රජයේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් වල සැලකිය යුතු වර්ධනයක් නොපෙනීමට ප්‍රධාන හේතුවක් වන්නේ රාජ්‍ය සේවක වැටුප් වැඩි නොවීමයි.
තෙවන විකල්පය වන්නේ ආදායම් අඩු කර නොගෙන හා වියදම් වැඩි කර නොගෙන ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ මට්ටමක පවත්වා ගනිමින් රජයේ ණය බර අඩු කරගැනීමයි. දිගුකාලීනව බලන්නේනම් හොඳම ප්‍රවේශය වන්නේ මෙයයි.
රජය විසින් සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තද, පොලී වියදම් ඊට වඩා වැඩි බැවින් තවමත් සමස්ත අයවැය ශේෂය විශාල හිඟයක්ව පවතිනවා. ඒ නිසා රජයට තව දුරටත් දිගින් දිගටම ණය වීමට සිදු වී තිබෙනවා. හැකි තරම් මුදලක් පොලී ගෙවීම් වෙනුවෙන් වෙන් කිරීම මගින් ණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වීම කෙසේ වුවත්, පොලී ගෙවීම සඳහා අලුතෙන් ලබා ගත යුතු ණය ප්‍රමාණය සීමා කරගත හැකියි.
දිගින් දිගටම දැනට පවතින මට්ටමේ හෝ ඊට වඩා වැඩි ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත හැකිනම් රජයේ ණය අවශ්‍යතාවය ක්‍රමයෙන් පහත වැටෙන නිසා වෙළඳපොළ ණය සැපයුමට සාපේක්ෂව ණය ඉල්ලුම පහත වැටී පොලී අනුපාතිකද පහත වැටෙනවා. පොලී අනුපාතික පහත වැටෙන තරමට රජයේ පොලී වියදම් අඩු වී සමස්ත අයවැය ශේෂය හොඳ අතට හැරෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලී අනුපාතික නිසා පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් වීම ආර්ථික වර්ධනය කෙරෙහි සාධනීය බලපෑමක් කරන නිසා අවසාන වශයෙන් රජයේ බදු ආදායම් වඩා වේගයෙන් ඉහළ යනවා.
කෙසේ වුවත්, රාජ්‍යමූල්‍ය කළමනාකරණය පිළිබඳව තීරණ ගත හැක්කේ රටේ දේශපාලන අධිකාරියට වන අතර ඔවුන් එම තීරණ ගනු ඇත්තේ තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති හා ගැලපෙන ආකාරයටයි. අතුරු අයවැය යෝජනා ඉදිරිපත් වෙද්දී මෙම ප්‍රතිපත්ති වඩා පැහැදිලිව ප්‍රදර්ශනය වෙයි.
~ ඉකොනොමැට්ටා
RN