සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 29,(LNW) කොළඹ :
ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා කණ්ඩායම්වලට පසුගිය කාලය පුරා අවස්ථා කිහිපයකදීම වීසා ගැටළු නිසා තරග කිරීමේ අවස්ථා අහිමි විය.සමහර අවස්ථාවලදී තරගාවලිවලදී කොටසකට පමණක් තරග කිරීමේ අවස්ථා හිමි විය.මෙවැනි අවස්ථාවන් කළමණාකරණයට රජයේ තානාපති අංශ මැදිහත් කර නොගැනීම හෝ එසේ කිරීම පමා කිරීම එවැනි අවස්ථාවන් උදාවීමට බෙහෙවින් බල පෑ බව අතීත සිඳුවීම් නිරීක්ෂණය කිරීමේදි පැහැදිළිය.
අලුත්ම තත්ත්වය වාර්තා වන්නේ Galaxy entertainment Maccau International Marathon සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් on arrival visa ලබා නොදී නැවත ලංකාවට එවීමත් සමඟයි.මේ තත්ත්වයන් එක දිගට ඇති වීම සහ එකම ආකාරයට ක්‍රියාත්මකවීම් අතර තිබෙන්නේ මේ මොහොතට අවශ්‍යය වන පරිදි යාන්ත්‍රණයේ වෙනස්වීමක් සිඳු නොවීමය.මේ ආකාරයටම ජාතික ඔලිම්පික් කමිටුව සහ මලල ක්‍රීඩා සංගමය ගත් උත්සාහයන් ව්‍යර්ථ වී ඒවා නිවැරදි කර ගැනීමට දේශපාලනික සහ රාජ්‍යතාන්ත්‍රිකව කළ මැදිහත්වීම් නිසා ඒවා යම් ආකාරයකට විසඳුණු අවස්ථාද අපි දුටුවෙමු.ඒත් වරදින තෙක්ම ඒවා මුල් ක්‍රියාමාර්ග ලෙස නොගැනීම නිසා ඇති වූ තත්ත්වයෙන් සම්පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස හෝ ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ඇති වූ බාධාවන් අපි අත් වින්දෙමු.
මේ සියලු ක්‍රීඩා පරිපාලන ඒකක ආණ්ඩුවේ ඇඟිළි ගැසීම් නොමැතිව ස්වාධීනය පැවතිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු.එහෙත් ඒවායේ අසමත්භාවය,අකාර්යක්ෂමතාවය මෙන්ම නොසැළිකිලිමත්කම සහ වංචනික තත්ත්වයන් නිසා ක්‍රීඩාවට වන හානියේදී එයින් ක්‍රීඩාවේ නිරත රටේ පුරවැසියන්ට සිඳුවන හානිය නොසළකා සිටින්නට නොහැකිය.මෙහිදී ද on arrival visa යන්න මත පදනම්ව ක්‍රියා නොකර අවශ්‍යය තානාපති සබඳතා හරහා ඒවා පරික්ෂා කර,රාජ්‍යතාන්ත්‍රිකව ඒවා නිරාකරණය කර ගැනීමට හැකි විණිනම් ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකාවට ඒමට සිඳු නොවන බව අපේ විශ්වාසය වන්නේය.
මැකාවු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුළුමනින්ම හසුරුවන්නේ චීන මධ්‍යම රජය වන බැවින් ශ්‍රී ලංකාව මැකාවු සමඟ සෘජු රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොපවත්වයි, එනම් ශ්‍රී ලංකාව සමඟ ඕනෑම අන්තර්ක්‍රියාවක් චීනයේ රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා විය හැකිය. අත්‍යවශ්‍යයෙන්ම, මැකාවු සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා චීනය සමඟ ඇති සබඳතාවේ කොටසක් ලෙස සැලකේ.එවැනි වාතාවරණයක ශ්‍රී ලංකා රජය සමඟ සමීපව කටයුතු කරන රටක් වන චීනය සමඟ on arrival visa ලෙස ශ්‍රී ලංකාවට එම මැරතන් තරගයට පැමිණ තිබෙන ආරාධනාව සාකච්ඡා කරන්නට තිබිණ.
ඊට කල් මදි බව කියන්නට නොහැකිය.මේ බව දැනගෙන මසකටත් වැඩිය.අප ඒ සම්බන්ධයෙන් සටහන් කළේ ඔක්තෝම්බර් 31 වන දා ය.එය මෙතැනින් කියවිය හැකිය.→
https://sinhala.lankanewsweb.net/10/31/139049/
ඒ නිසා එක දිගට වැරදීම එකම ආකාරයෙන් වැරදීම සිඳුවිය හැක්කේ තමන් සම්බන්ධයෙන් වන අධි තක්සේරුව,නොසැළකිල්ල,උද්ධච්ඡකම හෝ මෝඩකම වැනි කාරණා මත පමණය.අප ඉහත කී ආකාරයටම චීනයෙන්ම තීරණ ගන්නා රටක් ලෙස ගත හැකි හොංකොං රාජ්‍යයේ පැවති ක්‍රීකට් තරගාවලියකට සහභාගි වී ශ්‍රී ලංකාව ජයගන්නේ මෑතකදීය.ඒ නිසාම මේ on arrival visa කතාවේම නොසිට මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සබඳතාවයක් සකසා ගන්නට ජාතික ඔලිම්පික් කමිටුවට තිබිණ.
ලෝකයේ ඔලිම්පික් සංගම් අති ප්රබලය.ඒ ව්‍යහුය ඇතුළේ රටක දේශපාලනයට හෝ ඔවුන් නැමිය යුතු නැත.එහෙත් අප වටහා ගත යුතු ඇත්තක් ඇත.රටක සියල්ල පාලනය කරන්නට ඔලිම්පික් සංගමයකට නොහැකිය.ඔලිම්පික් සංගමයද රටේ සහ ලෝකයේ පවතිින නීතිමය තත්ත්වයන්ගෙන් ආවරණය විය යුතුය.ඒ නිසා ආගමන විගමන නීතිය රටක පාලනය කරන්නට හෝ තමන්ට ඇවැසි පරිදි නම්මා ගන්නට ඔලිම්පික් කමිටුවතට නොහැකිය.
මෙම ආපසු හැරී ඒම සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන වාර්තා කරන ලිපියේ මෙසේ සඳහන්ව ඇත.
“මීට මසකට පමණ පෙර ශ්‍රීලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත එරටින් ලැබුන ආරාධනාවක් මත ශ්‍රීලංකා මලලක්‍රීඩා ආයතනය විසින් පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි සහ කාන්තා මැරතන් තරඟ ජයගත් ටී. රත්නපාල සහ වත්සලා හේරත් සමග ඔවුන්ගේ පුහුණුවකරු වූ සජිත් ජයලාල් මහතා ඒ සඳහා ඉදිරිපත් කරන ලදී. මෙම තිදෙනා සඳහා ගුවන් ගමන් සහ මැකාවුහි නවාතැන් වියදම් සියල්ල තරඟ සංවිධායකයන් විසින් දරණ ලබනු බවත් වීසා නිකුත් කිරීම on arrival visa ක්‍රමවේදයට එරටට ඇතුල්වීමේදී කෙරෙනු බවටත් ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව ඔවුන් අදාල ගුවන් ටිකට්පත් ලබාදී ඇති අතර on arrival visa ලබාගැනීමට එක් අයෙකුට US $ 300 බැගින් තිදෙනා සඳහා US $ 900 ක මුදලක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් සජිත් ජයලාල් මහතාට ලබාදී ඇත. කෙසේ වෙතත් එම ගුවන් තොටුපලේදී ඔවුන් දන්වා ඇත්තේ ශ්‍රීලංකාව ඔවුන්ගේ on arrival visa නිකුත් කෙරෙන රටවල් ලැයිස්තුවේ නොමැති බවයි.“
මෙහි මැකාවෝ රාජ්‍යයේ පවතින ආගමන විගමන නීතිමය තත්ත්වයන්ට අනුව ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව on arrival visa නිකුත් කරන රටක් නොවන බව පැහැදිළිය.ඒ ගැන දැන අවබෝධයක් තිබුණානම් ඒ අපැහැදිළිතාවය මත සිට අවශ්‍යය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම කිරීමට තිබිණ.මග හැරී ඇත්තේ එම තත්ත්වය නොවේද?
සමන් කුමාරයන්ගේ සටහනේ ආපසු හැරී ගිය කණ්ඩායම් අතර ඉරාකය ද සිටින බව කියයි.ඒ ගැන ඔලිම්පික් කමිටුවෙන් සමන් කුමාරට දැණුම් දි ඇත්තේ “අපි විතරක් නෙවෙයි තවත් මෝඩ උද්ධච්ඡ පිරිස් ලෝකයේ සිටිනවා,ඒ නිසා මේක ගණන් ගත යුතු නැහැ“ කියන්නට විය යුතුය.
අපි රජයෙන් ක්‍රීඩා සංගම්වලට,ජාතික ඔලිම්පික් කමිටුවට අනවශ්‍ය විදිහට දේශපාලන බලපෑම් කරනවාට විරුද්ධය.ඒ ප්‍රතිපත්තියේ අපි දිගටම රැඳෙන්නෙමු.
එහෙත් එහි අදහස තමන්ට ඕනිම විදිහකට ක්‍රීඩාවේදී හැසිරෙන්නට එම සංගම්වලට බලයක් තිබෙනවා යන්න නොවේය.වගකීමකින් තොරව හැසිරෙනවානම්,රටේ නීතියට නොගැලපෙන ලෙස හැසිරෙනවානම්,තමන්ට රිසි පරිදි හැසිරෙන්නට හැකි බව සිතා,එල්ල වෙන කිසිඳු චෝදනාවක් නොසළකා තමන්ගේ වැරදි නොසළකා සිටිය යුතු බවට තමන්ම තීරණය කරමින් ඒකාධිපතිත්වයෙන් හැසිරෙනවානම් එයට රටේ නීතිය අනුව කටයුතු කිරීමට රට කරවන පිරිස් පියවර ගත යුතුය.ක්‍රීඩා නීතිය යන දේ උඩඟු ලෙස ඇඟෙ වැදගත් ඇමතිවරු මෙන් නොවී රටේ පොදු නීතිය ද සම්බන්ධ කර ගනිමින් ක්‍රියා කිරීමට බුද්ධිමත් වීම සහ නිහතමානී වීම එහිදී වැදගත්ය.
තරග සංවිධායකයින් වරදක් කර ඇත.ආරාධිත පොදු ලිපියක් යැවීමේදී ඔවුන් එහි on arrival visa ඇති රටවලට මෙන්ම නැති රටවලට ද එකම ආකාරයේ ලිපි යවා ඇත.එසේම ඔවුන් එරට ආගමන විගමන නීතීන්ට අනුව on arrival visa ලබා දෙන සහ නොදෙන රටවල් නොසළකා හැර ඇත.එහෙත් ශ්‍රී ලංකාවට මේ තත්ත්වය සළකා බැලීමේදී මැකුවා යනු ශ්‍රී ලංකාවට on arrival visa ලබා දී ඇති රටක් ද නැති රටක් ද යන්න සළකා බලන්න තිබිණ.මැකුවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තීරණයක් ගැනීමට නොහැකි වුණත්,ලංකාවේ නොසැළකිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට හැකියාව ඇත.
එක පංතියක යාළුවන් ලෙස මේවා වෙන්න වෙන්න ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩාවට වන හානිය නොසළකා සිටින බව දන්නා නිසාම වැඩි සැළකිල්ලකින් තොරව වැඩ කර වරදක් වුවහොත් එය ක්‍රීඩකයින්ට මිස තමන්ට නොවන බව ඉහළ පුටුවල ඉන්න ක්‍රීඩා පරිපාලකයෝ විශ්වාස කරති.ඒ නිසා මැකාවා සිඳුවීම ද ක්‍රීඩකයන්ට වුණ පාඩුව සහ හානියෙන් එහාට කිසිවක් සිඳු නොවී අවසන් වන බව ඔවුන් විශ්වාස කරනු ඇත.ඇත්තටම තවමත් වන්නේ එසේමද යන්න විමසා බැලීමට මෙය හොඳම මොහොතකි.
මැරතන් ක්‍රීඩකයින්ට වසරකට මැරතන් දුසිම් ගණන් දිවීමට නොහැකිය.මේ මැරතන් තරගයෙන් පසුව එන මැරතන් තරග සඳහා ආපසු හැරී ආ ටී.රත්නපාලට හෝ මධුශානි හේරත්ට අවස්ථාවක් ලබන්නට තව බොහෝ කල් බලා සිටින්නට සිඳු විය හැකිය.ඒ නිසා මේ මැරතන් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයෙකුට සහ ක්‍රීඩිකාවකට තමන්ගේ ජීවිතයෙන් විශාල ඉඩක් අහෝසි කිරීමක් ලෙස මේ තත්ත්වය හැඳින්විය හැකිය.එ අහිමිවීම ගැන වගකීම් සහගත ලෙස හැසිරී නැති පිරිසට කිසිවක් සිඳු නොවනු ඇද්ද?මැකුවා සංවිධායකයින් සම්බන්ධයෙන් අවශ්‍යය පියවර ගැනීම ලිඛිතව කරන ලද දැණුම් දීම් පදනම් කරගෙන ජාතික ඔලිම්පික් කමිටුව කළ යුතුය.එසේම මැකුවා ආගමන විගමන නීති සම්බන්ධයෙන් සැළකිල්ලක් නොදක්වා,සොයා නොබලා කටයුතු කිරීමෙන් වූ වරද ගැන ජාතික ඔලිම්පික් කමිටුවද වගකිව යුතුය.
SAR (“Special Administrative Region of Macau,) “විශේෂ පරිපාලන කලාපය” ලෙස මැකුවා සහ හොංකොං හඳුන්වන්නේ චීනයට යටත්ව තිබුණ ද ස්වාධීනව හැසිරීමේ විශේෂ අයිතියක් ඇති රටවල් නිසාය.එහෙත් චිනය වීසා වැනි කාරණාවලදී ශ්‍රී ලංකාව වැනි රටකට වැදගත් වන්නේ මේ රටවල් සියල්ලටම අදාළ තානාපති සබඳතා ක්‍රියාත්මක වන්නේ චීනය සමඟ බැවිනි.
මැකාවා හී වීසා ප්‍රතිපත්තිය ගැන පහත දක්වා ඇති සබඳතාවයට පිවිස දැන ගැනීමට හැකියාව ඇත. https://en.wikipedia.org/wiki/Visa_policy_of_Macau මෙහි දුඹුරු පැහැයෙන් දැක්වෙන්නේ කලින් වීසා අවශ්‍යයි (පැමිණීමේ වීසා බලපත්‍රය නුසුදුසු) කොටසය.ශ්‍රී ලංකාව අයත්වන්නේ එම කොටසට බව පැහැදිළිය.මේ පිළිබඳව විමසා බැලුවේනම් එහි ඇති එම රජයේ ප්‍රතිපත්තිමය කාරණා නොසළකා මෙම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවත්,පුහුණුකරුත් අපහසුවට පත් වීම වළක්වා ගන්නට තිබිණ.
එහෙත් මේ අපහසුවට,හානියට ක්‍රීඩා බලධාරීන් අවම තරමෙන් මේ වරදට හේතු වූ නොසැළකිල්ලටවත් දඩුවම් කරමින් ඉදිරියේ දී වැඩ කළ යුතු ආකාරය පිළිබඳව ආදර්ශයක් දෙයිද යන්න තවමත් සැක සහිතය.