ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස විසිනි
මා හිතවත් ශ්‍රී ලාංකිකයනි,
ඛේදවාචකයක් යනු හුදෙක් අප විඳදරාගන්නා දෙයක් පමණක් නොවේ – ඉන් අපි ඉගෙන ගන්නෙමු. ජාතියක් ලෙස, මිනිසුන් ලෙස, මෙම මොහොතේ අප අපගෙන් ම ඇසිය යුතු පැණයක් තිබේ: අප වෙනස් ආකාරයකින් සිදුකළ යුත්තේ කුමක්ද? මෙම අත්දැකීමෙන් අපට වර්ධනය විය හැක්කේ කෙසේද?
ජාතියක් ලෙස, සූදානම්කම, අවංකභාවය සහ වගකීම යනු විකල්ප නොව අත්‍යාවශ්‍ය ගුණාංග බව අප පිළිගත යුතු ය. විනිවිදභාවයකින් යුතු ශක්තිමත් ආයතන නැවත ගොඩනැඟීමට අප කටයුතුකළ යුතු ය. ආපදා කලමනාකරණය, සහන බෙදාහැරීම සහ දිගුකාලීන ප්‍රකෘතිය විද්‍යාව, වෘත්තීයභාවය සහ දයාව මඟින් මෙහෙයවනු ලබන බව අප සහතිකකළ යුතු ය.
මිනිසුන් ලෙස, අප සෑම දෙනෙකුම අභ්‍යන්තරව විමසිලිමත්විය යුතු ය.
අප වගකීමෙන් යුතුව කටයුතු කරනවා ද?
අප නාස්තිය, දූෂණය සහ නොසැළකිල්ලෙන් වැළකී සිටිනවා ද?
අප අපගේ අසල්වැසියන්ට සහයෝගය ලබා දෙනවා ද?
අප පොදු සම්පත් පූජනීය ලෙස සලකා අවභාවිතා නොකළ යුත්තක් ලෙස සලකනවා ද?
වගවීම ආරම්භ වන්නේ පුරවැසියාගෙනි; එය වර්ධනය වන්නේ ප්‍රජාවන්ගෙනි. අවසානයේ, එය ජාතියේ චරිත ලක්ෂණයක් බවට පත්වේ.
පුරවැසියන් වශයෙන් අපගේ ක්‍රියාකලාපය වැදගත් ය. අපට ආධාර ලැබෙන විට අප අවංක විය යුතුය – අවශ්‍ය දෙය පමණක් ගෙන, රැස්කර තබා ගැනීමෙන් වැළකී පද්ධතිය සූරා කෑමෙන් වැළකී සිටිය යුතු ය. අප රාජ්‍ය නිලධාරීන්ට ගරු කළ යුතු ය, හැකි සෑම අවස්ථාවකම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්විය යුතු ය, වරදක් දුටු තැන සාමකාමී ව හඬ අවදිකළ යුතු ය. වගවීම රජයේ යුතුකම පමණක් ම නොවේ; එය ජනතාවගේ ද යුතුකමයි.
රජයක් ලෙස, අප වගවිය යුත්තේ ලෝකයාට ය. විදෙස් රටවල් අපට උදව් කර ඇත්තේ අප කෙරේ පවතින විශ්වාසය හා කරුණාව නිසා ය. ඔවුන්ගේ විශ්වාසය අස්ථානගත වී නොමැති බව ඔවුනට පෙන්වීම අපගේ වගකීමයි. සෑම රුපියලක් ම, සෑම පරිත්‍යාගයක් ම, සෑම සැපයුම් ඇසුරුමක් ම වාර්තාකර, ප්‍රකාශයට පත්කර, විගණනයට ලක්කර, අවේක්ෂනයට භාජනයකළ යුතු ය. ශ්‍රී ලංකාව හුදෙක් උදව් ඉල්ලා සිටිනවා පමණක් නොව, එම උදව්වට අවංකභාවයෙන් ගරුකරන බව ද ලෝකයා දැනගත යුතු ය.
මෙම ගෝලීය සහයෝගය අප සුළුකොට තැකිය යුත්තක් නොවේ, එය ආශිර්වාදයකි. එබැවින් ආශිර්වාදයකට ගරු කළ යුතු ය.
අපගේ ස්තූතිය ප්‍රකාශ කරන්නේ කෙසේ ද?
හුදෙක් වචනවලින් පමණක් නොව, ක්‍රියාවෙන් ද එය ප්‍රකාශකළ යුුතු ය.
පිරිසිදු පරිපාලනයක්, වගකියන නායකත්වයක්, සහ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම තුළින් අප අපගේ කෘතඥතාව පළ කළ යුතු ය. ශ්‍රී ලංකාව සෑම නෞකාවක් ම, සෑම ගුවන් යානයක් ම, සෑම වෛද්‍යවරයෙකු ම, සෑම ඩොලරයක් ම, සෑම දයානුකම්පිත ක්‍රියාවක් ම මතකයේ තබා ගන්නා බව අප ලෝකයාට පැවසිය යුතු ය.
ඒ සැමට වඩා, අප අපේ දොරවල් විවෘත කළ යුතු ය.
මෙම විදෙස් රටවල්වල පුරවැසියන්ට අප ආරාධනාකළ යුත්තේ, අපගේ සුන්දර දිවයින නැරඹීමට පැමිණෙන හුදෙක් සංචාරකයන් ලෙස පමණක් නොව හවුල්කරුවන් ලෙස ය. ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය නිසා සාර්ථකකර ගැනීමට හැකි වූ සහන වැඩසටහන් දැක ගැනීමට ඔවුනට ඉඩ සලසවන්න. නිවාස නැවත ගොඩනැඟෙන ආකාරය, පාසල් අලුත්වැඩියාවන ආකාරය, ජීවිත යථා තත්ත්වයට පත්වන ආකාරය ඔවුන්ගේම දෑසින් දැක ගැනීමට ඔවුනට ඉඩ දෙන්න. මෙම විවෘතභාවය අපට පිරිනැමිය හැකි විශිෂ්ටතම ගෞරවයයි.
මිනිසුන් විනිවිදභාවය දකින විට, විශ්වාසය ගොඩනඟා ගනු ඇත.
විශ්වාසය ගොඩනැඟෙන විට, මිත්‍රත්වයන් වර්ධනයවනු ඇත.
මිත්‍රත්වයන් වර්ධනයවන විට, ජාතීන් එකට නැඟී සිටිනු ඇත.
අප උගත යුත්තේ මෙසේ ය.
අප වෙනස්විය යුත්තේ මෙසේ ය.
අප සමඟ සිටි අයට අප ගෞරව කරන්නේ මෙසේ ය.