උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීම ගැන කතා කරද්දී සමහර අය කියන ප්‍රචලිත කතාවක් වන්නේ උද්ධමනය අඩු වුනා කිවුවත් බඩු මිල අඩු වී නැහැ කියන එක. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. උද්ධමනය 3.4%ක් කියන්නේ ගෙවුණු වසරක කාලය තුළ බඩු මිල 3.4%කින් වැඩි වුනා කියන එක. එම වැඩි වීම ඊට වසරකට පෙර බඩු මිලෙහි වූ වැඩි වීමට වඩා බෙහෙවින්ම අඩු වුනත්, තව දුරටත් වැඩි වීමක්. එයින් කියැවෙන්නේ පෙර වසරේදී විශාල ලෙස ඉහළ ගිය බඩු මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙන්නේ සුළු වශයෙන් බව මිසක් එසේ ඉහළ ගිය බඩු මිල අඩු වී ඇති බව නෙමෙයි.
බඩු මිල අඩු වෙන්නනනම් අවධමනයක් පැවතිය යුතුයි. ඒ කියන්නේ සෘණ උද්ධමනයක්. රටක අවධමනයක් පැවතීම කිසිසේත්ම හොඳ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ නැහැ. ලංකාවේ උද්ධමනය විශාල ලෙස අඩු වුනත් එය සෘණ පැත්තට, ඒ කියන්නේ අවධමන මට්ටමට ගියේ නැහැ. මහ බැංකුව විසින් කල් යල් බලා පොලී අනුපාතික කප්පාදු කිරීම මගින් එවැනි තත්ත්වයක් ඇති වීම පාලනය කර ගත්තා. මේ වෙද්දී උද්ධමන අගය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉදිරි වසර තුළ උද්ධමන අගය දැන් මට්ටමට වඩා තරමක් ඉහළ යයි. එහෙත්, පසුගිය වසරේ මෙන් විශාල ලෙස ඉහළ යාමක් සිදු වෙන එකක් නැහැ.
නුදුරු කාලයකදී අවධමනයක් ඇති වීමේ අවදානමක් නැහැ කියන්නේ පසුගිය වසරේදී විශාල ලෙස ඉහළ ගිය බඩු මිල නැවත කවදාවත් ඊට පෙර තිබුණු මට්ටමට එන්නේ නැහැ කියන එක. එය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් උද්ධමනය නිසා ඉහළ යන බඩු මිල නැවත පහත වැටෙන්නේ නැහැ.
ඉහත ඡේද කිහිපයේ බඩු මිල කියා කියද්දී එයින් අදහස් කර තිබෙන්නේ සමස්තයක් ලෙස බඩු මිල. සමස්තයක් ලෙස බඩු මිල ඉහළ යද්දී ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල අඩු වී තිබෙන්න පුළුවන්. නමුත් එය අවධමනයක් නෙමෙයි. අවධමනයක් සේ සැලකෙන්නේ සමස්තයක් ලෙස බඩු මිල පහත වැටීමක් සිදු වුනොත් පමණයි.
උද්ධමනය ගැන කිව හැකි ඉහත කතාව වගේම කතාවක් ආර්ථික වර්ධනය ගැනත් කියන්න පුළුවන්. ආර්ථික වර්ධනය කොයි තරම් අඩු වුනත් එය ධන අගයක්නම් එයින් කියැවෙන්නේ රටේ ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වන බවයි. ඒ කියන්නේ රටේ ආදායම් තව දුරටත් ඉහළ යන බවයි. රටක ආර්ථික වර්ධනය 8% සිට 1% දක්වා පහත වැටුනා කියා සමස්තයක් ලෙස රටේ ආදායම් අඩු වීමක් සිදු වෙන්නේ නැහැ. ආදායම් තව දුරටත් 1%කින් ඉහළ යනවා. අඩු වන්නේ එසේ ආදායම් ඉහළ යන වේගය පමණයි.
ලංකාවේ ජාතික ගිණුම් ඇස්තමේන්තු සකස් කිරීමට පටන් ගත් 1950 වසරේ සිට 2019 වසර දක්වා ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ පැත්තට ගියේ 2001 වසරේදී පමණයි. ඒ අතර විවිධ වකවානු වල රටේ ආර්ථික වර්ධන වේගය අඩු වැඩි වුනා. නමුත්, 2001දී හැර අනෙක් හැම වසරකදීම රටේ ආර්ථිකය යම් පමණකින් හෝ ප්‍රසාරණය වුනා. ආදායම් ඉහළ ගියා.
කෙසේ වුවත්, 2019 සිට ඉහත තත්ත්වය වෙනස් වී ලංකාවේ ආර්ථිකය සංකෝචනය වීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වුනා. ආර්ථිකය සංකෝචනය වෙද්දී, ඒ කියන්නේ ආර්ථික වර්ධනය සෘණ පැත්තට යද්දී, රටේ ආදායම් අඩු වෙනවා. මෙය අවධමන තත්ත්වයකදී බඩු මිල පහත වැටීමට සමාන කළ හැකියි. සමස්තයක් ලෙස වසරක කාලය සැලකුවහොත්, 2019, 2020, 2022 වසර වලදී ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුනා. මේ (2023) වසරේදීද සමස්තයක් ලෙස ලංකාවේ ආර්ථිකය හැකිළීම පැහැදිලි කරුණක්. ඒ අනුව, වසරක කාලය සැලකූ විට, මෙතෙක් ලංකාවේ වැඩිම භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් සිදුව ඇති වසර 2018 වර්ෂයයි.
ගෙවුණු 2023 තෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. ඒ, 2022 තෙවන කාර්තුවට සාපේක්ෂවයි. පැහැදිලි ලෙසම එය හොඳ තත්ත්වයක්. ගණන කුමක් වුවත්, ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ රටේ ආදායම් ඉහළ යනවා කියන එක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ යනවා කියන එක.
කෙසේ වුවත්, මෙම යහපත් වර්ධනයන් සිදු වෙන්නේ 2022 තෙවන කාර්තුවට සාපේක්ෂව බව අමතක නොකළ යුතුයි. 2022 තෙවන කාර්තුව කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා අදාළව ලංකාවේ හොඳම තෙවන කාර්තුව නෙමෙයි. දැනට ලංකාව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළම මට්ටමක පවත්වා ගත් එම හොඳම තෙවන කාර්තුව 2019 තෙවන කාර්තුවයි. ඉන් පසුව, 2020, 2021 හා 2022 තෙවන කාර්තු තුළ දිගින් දිගටම ලංකාවේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පහත වැටුණා.
පසු ගිය කාර්තුව තුළ වාර්තා වූ 1.6%ක වර්ධනයකින් පසුවත් 2023 තෙවන කාර්තුවේ ආදායම් මට්ටම තවමත් 2019 මට්ටමට තබා 2021 මට්ටමටවත් පැමිණ නැහැ. එපමණක් නොව, 2015 තෙවන කාර්තුව තුල සිදු වූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සැලකුවත්, එම අගය 2023 තෙවන කාර්තුවේ මට්ටමට වඩා වැඩියි.
මෙහිදී ආර්ථික වර්ධනය ගැන කතා කරන්නේ උද්ධමනය නිසා සිදු වූ හානිය ඉවත් කිරීමෙන් පසුවයි. උද්ධමනය නිසා නාමිකව ආදායම් යාම ඉහළ යාම සැලකුවහොත්නම් තත්ත්වය වෙනස්. උද්ධමනය නිසා බඩු මිල ඉහළ ගියත්, ඊට අනුරූපව ආදායම් ඉහළ යාමක්ද සිදු වෙනවා. එසේ නොවනවානම් නොවන්නේ ආර්ථිකය හැකිළෙන නිසා මිසක් උද්ධමනය නිසා නෙමෙයි.
පසුගිය 2023 තෙවන කාර්තුව දක්වා සිවු වසරක කාලය, එනම් 2019 තෙවන කාර්තුවේ සිට කාලය, සැලකුවහොත් සමස්තයක් ලෙස බඩු මිල 95.1%කින් ඉහළ ගොස් තිබෙනවා. ඊට අනුරූප ආදායම් ඉහළ යාමක්ද සිදු වීනම්, බඩු මිල ඉහළ යාම පසුම්බියට දැනෙන්නේ නැහැ. නමුත් එම කාලය තුළ නාමික ආර්ථික වර්ධනය (තෙවන කාර්තු පමණක් සලකා) 68.0%ක් පමණයි. ඒ කියන්නේ වියදම් 95%කින් ඉහළ යද්දී ආදායම් ඉහළ ගොස් තිබෙන්නේ 68%කින් පමණයි.
ඉහත පරතරය විශාල ලෙස පුළුල් වුනේ 2021 තෙවන කාර්තුව හා 2022 තෙවන කාර්තුව අතර කාලය තුළයි. එම කාලය තුළ වියදම් (බඩු මිල) 69.2%කින් ඉහළ ගියත්, ආදායම් (නාමික දදේනි) ඉහළ ගියේ 49.8%කින් පමණයි. මෙම අගයයන් අතර වෙනස ජීවන තත්ත්වයේ වූ පහත වැටීම සේ සැලකිය හැකියි.
උද්ධමනය නිසා ඊට අනුරූපව ජීවන තත්ත්වය පහත වැටෙන්නේ නැහැ. එහෙත්, උද්ධමනය හා ගැලපෙන තරමේ ආදායම් වර්ධනයක් සිදු නොවූ විට ආදායම් හා වියදම් අතර වෙනස ජීවන තත්ත්වය කෙරෙහි බලපානවා. බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවන තත්ත්වය පහත වැටී ඇති බව පෙනෙන්නේ මේ හේතුව නිසා. ජීවන තත්ත්වයේ සිදුව ඇති මෙම පහත වැටීම නිල සංඛ්‍යාලේඛණ තුළද නිවැරදි ලෙස පිළිබිඹු වෙනවා.
පහත තිබෙන්නේ 2019 තෙවන කාර්තුවේ සිට නාමික දදේනි වර්ධනය වූ ආකාරයයි.
2019 තෙවන කාර්තුව – රුපියල් බිලියන 4,111.6
2020 තෙවන කාර්තුව – රුපියල් බිලියන 4,227.5
2021 තෙවන කාර්තුව – රුපියල් බිලියන 4,395.9
2022 තෙවන කාර්තුව – රුපියල් බිලියන 6,586.6
2023 තෙවන කාර්තුව – රුපියල් බිලියන 6,906.9
මේ ගණන් දෙස බැලූ විට පෙනෙන්නේ 2019 සිට ගෙවුණු සෑම වසරකදීම නාමික ලෙස ආදායම් ඉහළ ගොස් ඇති ආකාරයයි. එහෙත්, මේ ආදායම් ඉහළ යාමට හේතුව මිල ගණන් ඉහළ යාම (උද්ධමනය) මිස ආර්ථිකය වර්ධනය වීම නෙමෙයි. වෙනත් විදිහකින් කිවුවොත්, 2019 රුපියලක මිල දී ගැනීමේ හැකියාව 2023 වන විශාල ලෙස කඩා වැටී ඇති නිසා, 2019දී රුපියල් බිලියන 4,111.6කින් කළ හැකි වූ දේ 2023දී රුපියල් බිලියන 6,906.9කින් කළ නොහැකියි. ඒ නිසා, නාමිකව ආදායම් 68%කින් ඉහළ ගොස් තුනත් එයින් ජීවන තත්ත්වයේ ඉහළ යාමක් පිළිබිඹු වන්නේ නැහැ. ඒ ගැන දැනගත හැකි වෙන්නේ උද්ධමනයේ බලපෑම් ඉවත් කිරීමෙන් පසුවයි.
පහත තිබෙන්නේ පෙර වසර වල රුපියලක වටිනාකම 2023 රුපියලක වටිනාකම හා ගැලපූ පසු ඉහත සංඛ්‍යාලේඛණ වෙනස් වන ආකාරයයි. ඒ කියන්නේ සියලුම වටිනාකම් 2023 රුපියල් වලට පරිවර්තනය කළ පසු තත්ත්වය.
2019 තෙවන කාර්තුව – රුපියල් බිලියන 8,022.5
2020 තෙවන කාර්තුව – රුපියල් බිලියන 7,930.6
2021 තෙවන කාර්තුව – රුපියල් බිලියන 7,679.9
2022 තෙවන කාර්තුව – රුපියල් බිලියන 6,800.3
2023 තෙවන කාර්තුව – රුපියල් බිලියන 6,906.9
ජීවන තත්ත්වයේ සැබෑ වෙනස් වීම ඉහත සංඛ්‍යාලේඛණ තුළ නිවැරදිව පිළිබිඹු වෙනවා. 2022 හා 2023 තෙවන කාර්තු අතර කාලය සැලකුවහොත්, සුළු වුවත්, මෙය 1.6%ක ඉහළ යාමක්. නමුත්, 2019 තෙවන කාර්තුව තුළ පැවති තත්ත්වය සැලකුවහොත්, තවමත් 13.9%ක අඩුවක් දැකිය හැකියි. මේ අඩුව පුරවාගෙන 2019 සිටි තැනට යන්න තවත් අවුරුදු හතර පහක් පමණ යා හැකියි.
~ ඉකොනොමැට්ටා
RN