Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

ගමේ කෝපි කඩේ

ගී ඇසුර 18 

මෙරට ගුවන් විදුලි සංගීතය යම් ප්‍රමිතිගත තලයකට රැගෙන එන්නට සුවිසල් මෙහෙවරක් වූයේ රිජ්වේ තිලකරත්න අවදියේ බවයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට පත්වූයේ 1973 සැප්තැම්බර් මාසයේ. ඒ වන විට ප්‍රචාරය වෙමින් තිබූ හින්දුස්ථාන අනුකරණ ගීතවලට සහ බයිලා සඳහා වෙන්කර තිබූ ගුවන් කාලය යම් පමණකින් අඩුකොට නව නිර්මාණ සඳහා වැඩි ඉඩකඩක් වෙන් කරන්නත් ඔහු පියවර ගත්තා.

ඒ වන විට රටේ ක්‍රියාත්මක වෙමින් තිබූ වගා සංග්‍රාමයට සමගාමීව ජනතාව අතර ඒ පිළිබඳ යම් හැඟීමක් ගී නිර්මාණ ඔස්සේ ඇති කරන්නට රිජ්වේ කල්පනා කළා. ඊට පෙර නෙවිල් ජයවීර අවධියේ (1966 – 70) තමයි වගා කටයුතු සඳහා ගුවන් විදුලි ගීත හා නාට්‍ය මුලින්ම යොදාගත්තේ. “එඩිතර ලංකා” ගීතමය වැඩ සටහන එවැන්නක්. කොටින්ම පී. කේ. ඩී. සෙනෙවිරත්න රචනා කළ “කුරුලු බැද්ද” ගුවන් විදුලි නාට්‍යයේ අරමුණ වූයේත් ගොවිතැනට මිනිසුන් යොදවා ගැනීම බවයි පැවසෙන්නෙ. නමුත් ඒවා කිසිසේත්ම ප්‍රචාරකවාදී වුණේ නැහැ.

රිජ්වේ යුගයේදී ඇරඹි “ප්‍රබුද්ධ ගී”  වැඩ සටහන ප්‍රධාන වශයෙන්ම යොමු වුණේ රටේ සංවර්ධනය සඳහා ගොවි – කම්කරු ජනතාව බලගැන්වීමට. ඒ අරමුණින් නිර්මාණාත්මක ගීත සමුච්චයක්ම බිහිවුණා. “ප්‍රබුද්ධ ගී” නිෂ්පාදනය කළේ ප්‍රවීණ ගායන ශිල්පිනියකද වූ ජී. එස්. බී. රාණි පෙරේරා. වැඩි වශයෙන්ම ඒවායේ සංගීත අධ්‍යක්‍ෂණය කළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයි. අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස් ඇතුළු නිවේදකයන් “ප්‍රබුද්ධ ගී” ඉදිරිපත් කළා. දිනපතා ප්‍රවෘත්ති වලට කලින් උදේ 5.45 සිට 6 දක්වා ගීත 3ක් එමඟින් ජනගත කෙරුණා. ඊට පස්සෙ ඒවා තැටි කපලා රිජ්වේ තිලකරත්න සභාපතිවරයාගේ අනුමැතියෙන් පස්සෙ තමයි ප්‍රචාරය වුණේ. ස්වදේශීය සේවයෙන් “ප්‍රබුද්ධ ගී” විකාශය වුණාට තැටි කැපෙන ඒවායේ ගීත වෙළෙඳ සේවයේ හැම වැඩ සටහනකටම වගේ එක්කාසු කරගත්තා.

නන්දා මාලනී, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ වගේ ශිල්පීන් විතරක් නෙවෙයි කේමදාස සංගීතවේදියාගේ මැදිහත් වීමෙන් එච්. ආර්. ජෝතිපාලත් “ප්‍රබුද්ධ ගී” සඳහා කැඳවාගෙන එනු ලැබුවා. සභාපති රිජ්වේ තිලකරත්න ඒ සඳහා අනුමැතිය ලබාදීමත් එක්තරා විදියක විප්ලවීය තීන්දුවක්. එම්. එස්. ප්‍රනාන්දුගේ “බෝල බෝල මැටි එක එක ගෙනෙනවා” ගීතයත් “ප්‍රබුද්ධ ගී” වැඩ සටහනකිනුයි එළියට ආවෙ. සරල ගී ශිල්පීන් නොවන නිසා ඒ වන විට ජෝතිට සහ එම්.එස්. ට ගුවන් විදුලියේ නව ගීත පටිගත කිරීම්වලට හඬ මුසු කරන්නට දොරටු විවර වී තිබුණේ නැහැ. 

බලාපොරොත්තුව අපට තියේ, අදුරු කුටිය තුළ ​දොරගුළු ලාගෙන, සොඳුර මට සමුදෙන්න, අපි උදේ ගිහිල්ලා හවසට එනවා සහ අහස බලාපන් පුතුනේ වගේ ගීත සිය ගණනක් “ප්‍රබුද්ධ ගී” වලින් බිහි වුණා.

ජී. එස්. බී. රාණිම නිෂ්පාදනය කළ “ගීත තරංගනී” වැඩ සටහනටත් අතරින් පතර ඔය තේමාවෙන් යුතු ගීත එකතු වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ කාලේ සරල ගී වලට ඉදිරිපත් කරන ගීත අතරින් එකක් දේශාභිමාන හෝ වගා සංග්‍රාමයට අනුගත ගීයක් ලෙස ඉදිරිපත් කිරීමත් සම්ප්‍රදායක් වෙලයි තිබුණෙ. වික්ටර් රත්නායක ගයන “සරු පස දිලේ” (මහාචාර්ය සුනිල් ආරියරත්න / වික්ටර් රත්නායක) එහෙම ගීයක්. “පැරකුම්බා දවස සිහලුන් නැතිවීම” කියන පද පෙළ නිසා කාලයක් ඔය ගීතය තහනම් වෙලත් තිබුණා.

“ප්‍රබුද්ධ ගී” වැඩ සටහනට සුනිල් ආරියරත්න, අජන්තා රණසිංහ, මෛත්‍රී පනාගොඩ, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, ගාමිණී විජේතුංග, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ප්‍රියානන්ද විජේසුන්දර සහ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ ඇතුළු විවිධ ගී පද රචකයන්ගේ ගී නිර්මාණ ඇතුළත් වුණා. 

අජන්තා රණසිංහ රචනා කළ “ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ” ගීතයත් “ප්‍රබුද්ධ ගී” සඳහා විරචිත පද මාලාවක්.

ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ
ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැහෙන්නේ
ගමේ රටේ අහේනියයි ළමයිනේ
ඔය පුරසාරම්  වැඩකට නෑ ළමයිනේ
 
මේ ගීතය සඳහා හඬ මුසු කරන්නට ප්‍රේමසිරි කේමදාස තෝරාගෙන තිබුණේ වෙනත් ගායකයෙක්. ගීතය පටිගත කරන දා ඔහුගෙන් අපේක්‍ෂිත ගායන දායකත්වය සාර්ථකව ලැබුණේ නැහැ. පැය 3කටත් අධික කාලයක් තිස්සේ ඒ සඳහා ගත් පරිශ්‍රමය අසාර්ථක වෙද්දී හදිසි කටයුත්තකට ගායන ශිල්පී සනත් නන්දසිරි ගුවන් විදුලියට පැමිණි ආරංචිය වැඩ සටහන් නිෂ්පාදිකාව වූ ජී. එස්. බී. රාණිට සැළ වී තිබුණා. ඒ අනුව ඔහුට ගීතය පටිගත කිරීම සඳහා හදිසි කැඳවීමක් කරනු ලැබුවා. ඒ වන විට සනත්ගෙ බිරිඳ මල්කාන්ති දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවෙලයි හිටියෙ.
 
අර මුල් ගායකයත් “කෝපි කඩේ” ගීයට තමන්ගෙන් සාධාරණයක් නොවූ නිසා එම ගීතය ගයන මෙන් සනත්ගෙන් ඉල්ලීමක් කළා. සංගීතවේදී කේමදාසට සනත් නන්දසිරිගේ ගායන හැකියාව පිළිබඳව තිබුණේ ඉහළ විශ්වාසයක්, ඒ වන විට කේමදාසගේ සංගීතයට සනත් නන්දසිරි අනන්ත වූ දෙරණ සරා (හන්තානේ කතාව), එන්න මගේ පිය මිතුරෝ (අහස්ගව්ව) ඇතුළු ගීත රැසක් ගයා තිබුණා. තමන්ට මොන හදිසිය තිබුණත් මේ ගුවන් විදුලි පටිගත කිරීමේදී සෙසු ශිල්පීන් වැටී ඇති දුෂ්කරතාවයට පිහිට වෙන්නට සනත් තීරණය කළා.

ගීතයෙන් කියවෙන්නෙ තරුණ ගැටවුන්ට වැඩිහිටියෙක් දෙන අවවාදයක්. තරුණ අවධිය ඉබාගාතෙ ගත නොකොට රටේ අනාගතය සඳහා අර්ථවත්ව යොමු කරන ලෙසයි එමඟින් ඉල්ලා හිටියේ. තරුණ ශ්‍රම බලකාය දිරිගැන්වීමයි ගීතයේ නිර්මාතෘවරුන්ගේ අරමුණ වුණේ. ඒ කාලෙ සනත්ට තිබුණෙත් තුරුණු හඬක්. ඔහු ඒ හඬ ටිකක් වියපත් වන ආකාරයට සකස් කරල තමයි එදා පටිගත කිරීමට සිය හඬ මුසු කළේ.
 
අපේ කාලෙ අස්වැද්දූ කුඹුරු ලියදි පාළු වෙලා
තල කුරහන් අල දෙල් කොස්  හේන් පිටින් පාළු වෙලා
අම්ම අප්ප මොක මොකවත් කන්න බොන්න දුන් පලියට
ලැජ්ජ නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට
 
ජාතික ගුවන් විදුලියෙන් ගීතය මුලින්ම ප්‍රචාරය වුණේ 1974 පෙබරවාරි 14 වෙනිදා. සනත්ගෙ දියණිය අනුරාධා උපදින්නෙත් එදාමයි. ඉතින් ඔහුට මේ ගීතය බොහොම අනුස්මරණීය මතකයක් වුණා. 
 
“ප්‍රබුද්ධ ගී” වලින් පස්සෙ ගුවන් විදුලියෙන් මේ ගීතය “හිටු” කියල ප්‍රචාරය වෙන්න ගත්ත. එය ජනප්‍රිය වෙනවත් එක්කම වුණේ නොසිතූ විරූ අලකලංචියක්.
 
 මේ ගීතයෙන් ග්‍රාමීය තරුණ පරපුරට විශාල අපවාදයක් තර ඇති බවට හතර අතින්ම චෝදනා එල්ල වෙන්නට පටන් ගත්තා. කඩපිල්වල, පුවත්පත්වල හා මිනිසුන් අතර ඇති වූ විවාදාපන්න තත්වය මත ගීතයේ නිර්මාතෘවරුන් මූණ දුන්නේ මහත් දුෂ්කරතාවකට. ඒ චෝදනා එල්ල කළ බහුතරයක් එවකට ආණ්ඩුවට විරුද්ධව මත පළ කළ අය සහ ප්‍රබුද්ධ ගී සංකල්පයට එරෙහි පිරිසක් වීමත් විශේෂත්වයක්. ඒත් පුවත්පත්වලින් සහ තීරු ලිපිවලින් මතුකළ විරෝධය යම් පමණකට සමාජගත වී තිබුණා. නමුත් ගුවන් විදුලිය සියලු විරෝධතා මධ්‍යයේ “කෝපි කඩේ” ගීතය අඛණ්ඩව ප්‍රචාරය කළා.
 
ඔය අතරේ අජන්තා රණසිංහ ආවා  සනත් නන්දසිරි මුණ ගැහෙන්න.
 
“මාර වැඩේනේ මචං වුණේ”
අජන්තා කිව්ව.
 
“අපි මේකට මොනව හරි කරන්න ඕන 
මට තමා ඉන්න දෙන්නැත්තෙ හතර අතින්ම”
සනත් කිව්වෙ බොහොම කනස්සල්ලෙන්.
 
“අපි මේකට රිටර්න් එකක් දෙමු”

එහෙම කියපු අජන්තා ටික දවසකින් අර රිටර්න් එකට සූදානම් වෙලා ආව. ඔහු අත තිබුණෙ “කෝපි කඩේ” ගීතයට ලියපු පිළිතුරක්. ඒකෙන් කියවුණේ ගමේ ගැටවුන්ගෙ හපන්කම් ගැන.
ආකාසෙ තරුකා
මූදෙ මඩ වුණත් අරන් එන්නට
කෝපි කඩේ දාං අදින ගැටව් හපන්නු
 
පුරං කුඹුරු පාළු වෙන්නෑ ගම්මානේ
ගමේ ගොඩේ ගැටවුන්ටයි ඒ සම්මානේ
වැලි මිරිකා වතුර වුණත් ගන්න හපන්නු
ගමේ කෝපි කඩේ දාං අදින ගැටව් හපන්නු
 
හඳපානේ ගැටවුන්ගේ සී පද රාවේ
අපේ ගමට කිරි උතුරන ආසිරිවාදේ
ගැමි ලියන්නෙ හීන රටේ රඟන හපන්නූ
ගමේ කෝපි කඩේ දාං අදින ගැටව් හපන්නු

සනත්ගේ ඉහේ මලක් පිපුණා. ඔහුම සංගීතවත් කර ගායනා කළ ඒ ගීයත් “කෝපි කඩේ” වගේම ජනප්‍රිය වුණා. යන්තම් අර ආපු දොස් පරොස් සියල්ල කාලයාගේ ඇවෑමෙන් සමහන් වුණා. රටට යහපත් උපදේශයක් දෙන්න ගිහින් “වඳින්න ගිය දේවාලෙ තමන්ගෙ ඉහ මතට කඩා වැටෙද්දි” අජන්තාත් – සනතුත් ජාම බේර ගත්තෙ ඔය විදියටයි.

© නිලාර් එන්. කාසිම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.