කෝප් කමිටුව කලකට පසු හොඳටම කරයි. රත්තරං තේරීමක් !

Date:

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ (07) තෝරා පත්කරගෙන තිබුණා.

ඒ සඳහා උත්තර ලංකා සභාගයේ ගාමිණී වලේබොඩ සහ පොහොට්ටුවේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් යෝජනා වෙලා තිබුණු අතර ඡන්ද විමසීමේදී වලේබොඩ මහතාට ඡන්ද 8කුත් අබේගුණවර්ධන මහතාට ඡන්ද 12ක් ලැබී තිබුණා.

සමාජ මාධ්‍ය තුළ මේ පත්වීම තරමක් විවේචනයටත් හාස්‍යයටත් ලක්වෙලා තිබුණත් මේක කාලෙකට පස්සේ කෝප් කමිටුව “හොඳටම කරපු” අවස්ථාවක් වෙන්නත් පුළුවන්.

කෝප් කමිටුවේදී කෙරෙන්නේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් ඇතුළු ආයතනවල අක්‍රමිකතා, වංචා, දූෂණ, නාස්තිය ගැන හොයලා බලලා ඒවාට පිළියම් නිර්දේශ කිරීමනෙ. ඉතින් ඒවා ගැන හොඳ දැනුමක් සහ අත්දැකීම් තියෙන කෙනෙක් ඔය තනතුරට එන්න ඕනෑ. එහෙම බැලුවාම ප්‍රාදේශීය සභා මට්ටමේ ඉඳන් කැබිනට් ඇමති මට්ටම දක්වා දේශපාලනයේ ඉදිරියට ආපු කෙනෙක් විදියට රෝහිත අබේගුණවර්ධනට ඒ අත්දැකීම් හොඳටම තියෙනවා ඇති. ඔය අයථා වත්කම් අනං මනං ගැන එතුමා දන්න හරිය ඉහටත් උඩින්. ආයෙ නොදන්න දෙයක් තියේ නම් එතුමාව ඔය තනතුරට යෝජනා කරපු මහින්දානන්ද ඇතුළු පක්ෂෙ යාළුවොන්ගෙන්ම අහගන්න බැරුවායෑ.

ඒ වගේම සාමාන්‍යයෙන් විමර්ශනවලට රාජ්‍ය නිලධාරීන් කැඳවපුවාම ඔවුන් විවිධ පොත් පෙරළලා ඒවායින් මගහරින්න බලනවා. නමුත් රෝහිත සභාපතිතුමා එක්ක නම් ආයෙ “නයෙක් ගැහුවා” කියලා ගිහින් ඉස්පිරිතාලේ නතර වෙලාවත් විමර්ශනවලින් නම් බේරෙන්න වෙන්නෙ නෑ ඒකාන්තයි. මොකද එතුමාට ඒවා ගැනත් හොඳ අත්දැකීම් තියෙනවා.

රටක් හැටියට අපට මේ මොහොතේ තියෙන්නෙම කළු වලාකුළු විතරයි. ඒ හින්දා ඒවායේ රිදී රේඛා හිතින් මවාගෙන හරි බලන්න අපි පුරුදු වෙන්න ඕනෑ. මේකත් හොරු අල්ලන්න හොඳම අවස්ථාවක් හැටියට අපි බලමු ඉතින් …

අනිත් එක ආණ්ඩුවේ ලොක්කා හැටියට ජනාධිපතිවරයාගේත් පොහොට්ටුවේ ලොක්කා හැටියට බැසිල් රාජපක්ෂගේත් පූර්ණ ආශිර්වාදය ඇතිව නේ මේ පත්වීම වෙලා තියෙන්නේ. ඒක “රත්තරං” තේරීමක් කියලා ඔප්පු කරන එක තියෙන්නේ රෝහිත සභාපතිතුමා අතේම තමයි.

පරණ කතා පැත්තක තියමුකෝ. පුළුවන් නම් පසුගිය අවුරුදු හතර ඇතුළේ ඔය වියත්මගේ විද්වත්තු ඇතුළුව රාජ්‍ය ආයතන සභාපතිලා, පක්ෂ භේදයක් නැතුවම ඒවායේ ඉන්න ලොකු ලොකු වෘත්තිකයෝ, ආචාර්ය මහාචාර්යවරු ගහපු ගේම් ටික මේ මාස කිහිපය ඇතුළේ කෝප් කමිටුවේදී එළියට ඇදලා පෙන්වන්න පුළුවන් නම් රෝහිත කියන්නේ වැඩ්ඩෙක් කියලා කාටත් පිළිගන්න වෙනවා. මේක මැතිවරණ වසරක් නිසා එතුමාට මාධ්‍ය හරහා ලොකූ ප්‍රතිරූපයක් හදාගන්නත් පුළුවන් ඕකෙන්.

කෝප් බැයිනම් පෝක් හරි කමක් නෑ, කරනවා නම් ඔන්න වැඩේ !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...