කලින් සටහනෙන් ලංකාවේ විරැකියා අනුපාතය හා අධ්‍යපන සුදුසුකම් අතර තිබෙන සම්බන්ධයේ විකෘතිය ගැන කතා කළා. රටක විරැකියා අනුපාතය කියන්නේ කුමක්ද?
විරැකියා අනුපාතය කියා කියන්නේ රටේ ජනගහණයෙන් (හෝ වැඩිහිටි ජනගහණයෙන්) රැකියාවක් නොකරන ප්‍රතිශතයට නෙමෙයි. රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින එහෙත් රැකියාවක් නැති නිසා රැකියාවක් නොකරන ප්‍රතිශතයට.
රටක ශ්‍රම බලකාය ලෙස හඳුන්වන්නේ මේ විදිහට රැකියාවක් කිරීමේ අපේක්ෂාවෙන් සිටින ප්‍රමාණයයි. රටේ වැඩ කළ හැකි වයසක සිටින ජනගහණයේ අනුපාතයක් ලෙස මෙම අගය ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ලෙස හැඳින්වෙනවා. රටේ රැකියා ප්‍රමාණය ඉහළ යද්දී වගේම ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය අඩු වෙද්දීත් විරැකියා අනුපාතය අඩු වෙනවා. දෙවැන්න හොඳ තත්ත්වයක් නෙමෙයි.
ලෝකයේ රටවල් අතරින් ලංකාව ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය ගොඩක් අඩු රටක්. පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක සංසන්දනාත්මක දත්ත.
කටාර් – 89%
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – 83%
ඉතියෝපියාව – 80%
කෙන්යාව – 74%
වියට්නාමය – 73%
නවසීලන්තය – 72%
බහරේන් – 72%
කුවේට් – 72%
සිංගප්පූරුව – 69%
ඉන්දුනීසියාව – 68%
තායිලන්තය – 67%
ස්වීඩනය – 67%
චීනය – 66%
ඕස්ට්‍රේලියාව – 66%
ස්විට්සර්ලන්තය – 66%
නෝර්වේ – 65%
මැලේසියාව – 65%
ඊශ්‍රායලය – 65%
කැනඩාව – 65%
ජපානය – 63%
එක්සත් රාජධානිය – 62%
ඇමරිකා එක්සත් ජනපදය – 62%
ජර්මනිය – 62%
බංග්ලා දේශය – 58%
ප්‍රංශය – 56%
ඉන්දියාව – 55%
පකිස්ථානය – 53%
ලංකාව – 51%
නේපාලය – 40%
ලෝක බැංකු වෙබ් අඩවියෙන් මුළු ලැයිස්තුවම බලාගන්න පුළුවන්. ලංකාවට වඩා පහලින් ඉන්නේ රටවල් 27ක් පමණයි. ඒ වගේම, ලංකාවේ මේ අනුපාතය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් නිරීක්ෂණය කළ හැකියි.
මෙය පහළ විරැකියා අනුපාතය තුළ සැඟවී තිබෙන අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක්. රටේ වැඩ කරන වයසේ සිටින ජනගහණයෙන් බාගයකටම රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන්නේ වැඩ කරන ඉතිරි පිරිසට ඒ අයව නඩත්තු කරන්න වෙනවා කියන එකයි.
විදේශික ශ්‍රමිකයින් විශාල පිරිසකට රැකියා සපයන මැද පෙරදිග රටවල වගේම සිංගප්පූරුවේත් ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ මට්ටමක තිබීම තේරුම් ගන්න පුළුවන්. චීනය, වියට්නාමය වගේ සමාජවාදී රටවලත් මේ අනුපාතය වැඩියි. සමාජවාදී ආර්ථික-දේශපාලන ක්‍රමය ඇතුළේ වැඩ නොකර සිටීමට වැඩි ඉඩක් නැති වීම ඊට හේතුව වෙන්න පුළුවන්. බටහිර ධනවාදී රටවල වෙළඳපොළ යාන්ත්‍රනය හරහා වැඩ කිරීම ප්‍රවර්ධනය කෙරෙනවා. වැඩ නොකර නිකම් හිටියොත් සුම්මා තමයි. අනෙක් පැත්තෙන් අප්‍රිකාවේ දුප්පත් රටවල් වලත් ශ්‍රම බලකා සහභාගීත්වය ගොඩක් වැඩියි.
පොදුවේ ගත්තහම දකුණු ආසියානු කලාපයේ ශ්‍රම බලකා සහභාගීත්වය අඩුයි. එහෙම බැලුවහම මෙය කලාපයේ ප්‍රශ්නයක්. නමුත් ලංකාව ඉන්නේ ඉන්දියාවට, බංග්ලා දේශයට හා පකිස්ථානයටත් වඩා තරමක් පහළින්. මේ තත්ත්වයට කරුණු ගණනාවක් දායක වී තිබිය හැකියි. පහත තිබෙන්නේ ඒ අතරින් ප්‍රධාන කරුණු දෙකක්.
- වැඩ කළ හැකි වයස් කාලයෙන් සැලකිය යුතු කොටසක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සහ එම කාලය තුළ ශ්‍රම බලකායෙන් මුළුමනින්ම බැහැර වී සිටීම. මෙය බටහිර රටවල සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.
- අපේක්ෂිත ජීවත්වීමේ කාලය ඉහළ ගොස් ඇතත් විශ්‍රාම ගන්නා වයස අනුරූප ලෙස ඉහළ නොයාම.
හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. වැඩ කළ හැකි වයස් සීමාවේ අන්ත දෙකේ ඉන්න ඔය කණ්ඩායම් දෙක ශ්‍රම බලකායට එකතු වුනා කියලා ඒ අයට කරන්න රස්සා රටේ තියෙනවද?
මේ තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යාපනය (පළමු කරුණ) හා සෞඛ්‍යය (දෙවන කරුණ) සුබසාධනය කිරීම. මෙය අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වෙන් කරන අරමුදල් කප්පාදු කළ යුතුයි කියා කරන යෝජනාවක් විදිහට වරදවා තේරුම් ගන්න එපා. නමුත් ඕනෑම රාජ්‍ය මැදිහත්වීමක හිතකර වගේම අහිතකර ප්‍රතිඵලත් තිබෙනවා.
අධ්‍යාපනය සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී පුද්ගලයෙක් ශ්‍රම බලකායට එකතු වෙන එක ප්‍රමාද වෙනවා. නමුත්, ඒ විදිහට පහු වෙලා ශ්‍රම බලකායට එකතු වෙලා වුනත් වැඩි දායකත්වයක් ලබා දෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ කියන්නේ පෞද්ගලිකව ගත්තොත් මුල් කාලයේ “නාස්ති කරන” කාලය වෙනුවෙන් පසුව පොලියත් එක්ක ප්‍රතිලාභ ලැබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් පෞද්ගලිකව ආයෝජනය කරන කෙනෙක් එසේ කරන්නේ මේ ප්‍රතිලාභ දිහා බලාගෙන. (පොදු අරමුදල් වලින් අධ්‍යාපනය සුබසාධනය කළත් ඒ සඳහා වෙන් කළ යුතු කාලය පෞද්ගලික ආයෝජනයක්).
සෞඛ්‍ය පහසුකම් සඳහා ඉඩප්‍රස්තා ඉහළ යද්දී ජීවත් වන කාලය වැඩි වෙනවා. නමුත් පුද්ගලයෙක් වැඩි කාලයක් ජීවත් විය යුත්තේ ඇයි? වැඩි කාලයක් ජීවත් වෙනවා කියන්නේ වැඩි කාලයක් දුක් විඳින එකනම් ඒ ජීවත් වීමෙන් ඇති වැඩක් නැහැ. ඒක පෞද්ගලිකව කෙනෙකුට පෙනෙන දෙය. රටේ පැත්තෙන් තත්ත්වය කුමක්ද?
සෞඛ්‍ය පහසුකම් සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එහිදී ඉහළ යන ජීවිත කාලය සහ එම ජීවිත කාලයේ ගුණාත්මක භාවය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීමට දායක වන්නේනම් පමණයි. අධ්‍යාපනය සඳහා වෙන් කරන පොදු අරමුදල් රටේ ප්‍රතිලාභයක් බවට පත් වන්නේ එය රටේ ආර්ථිකය වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් වන්නේනම් පමණයි. ඔය දෙකම වෙන්නේ අනුරූපී ලෙස රටේ රැකියා අවස්ථා ඉහළ ගියහොත් පමණයි.
ලංකාව මීට වඩා වැඩි වේගයකින් කාර්මීකරණය නොවන්නේ ඇයි? එසේ වඩා වැඩි වේගයකින් කාර්මීකරණය කිරීම අසීරු ඇයි? සරල පිළිතුර මේ සඳහා අවශ්‍ය වන ආකාරයේ ශ්‍රම සැපයුමක් රටේ නැති වීමයි. ශ්‍රම බලකා සහභාගීත්වය වැඩි කර ගැනීමටනම් රටේ ජීවත්වන, ශ්‍රම බලකායෙන් පිට සිටින අයව ආකර්ෂණය කර ගත හැකි ආකාරයේ රැකියා ජනනය වීමක් සිදු වීය යුතුයි. කාර්මික අංශයේ රැකියා ජනනය වුනත් බොහෝ විට ඒවා ලංකාවේ ශ්‍රම බලකායට ආකර්ශනීය වන එකක් නැහැ.
~ ඉකොනොමැට්ටා
RN