*
Monday, November 25, 2024
spot_img

Latest Posts

රනිල් අනුර දෙන්නාම ඉවරයි? – (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

දැන් රටේ මානසිකත්වය on your mark get set…… තැනට පත්වී හමාරය. කල් තියා පායා මුදුන් වූ මාලිමාව,  බටහිර බෑවුමට තල්ලූ වී

හමාරය. කෝම්පිට්ටු ඉස්කෝලේ සුහුරු පන්ති කාමරයේ ජපන් වලින් වලින් දරුවන් අමතන, සජිත් ප්‍රේමදාස, දේශපාලන සූදුවේ වැඩි බර  ඔට්ටුව වෙමින් පවතී.

”එහෙනම් මෙතෙක් ඔබ කඩේ ගිය රනිල්……? ” කිසිවෙකු මගෙන් අසනවා සිකුරුය. ලිපිය ආරම්භ වන්නේ ඔබ අසා ඇති, මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පතිගේ නිරීක්ෂණයන් කිහිපයකි. වෙන්නේ කුමක්දැයි රනිල්ගේ ඔලූවේ සිටින උකුණෙකුටවත් හිතා ගත නො හැකි බව මගේ මිත්‍රයාගේ අදහස වේ. රනිල් දක්ෂ පාලකයෙක් වුණාට රනිල්ට නායකත්ව වාසනා ගුණ නම් ඇත්තේම නැත යන්න මිත්‍රයාත් පිළිගනී.  

ග්‍රාමීය චින්තනයට අනුගත සේනානායකලා නිර්මානය කළ එක්සත් ජාතික පක්ෂය සිරිකොතට යවා තමාත් ගෙදරට ගිය මේ අපූරු නායකයා එනම් රනිල්, එක් රැයකින් රටේ පාලකයාවී ආර්ථීක කාන්තාරයක්ව පැවති රටට පොද වැස්සක්වූ බව නම් කයිවාරුවක් නොවේ. පාර්ලිමේන්තු බහුතරයේ සහායයෙන් ඒ හපන්කම කළ රනිල් වික්‍රමසිංහ ගැන රටේ ජනතාව තීන්දුවක් ගැනීමට  නියමිතය.


පනස් හයෙන් පසුව රටේ ජනතාව බහුතරය එක්වී රට භාර කළේ කටකාර නායකයන්ට මිස වැඩකාර පාලකයන්ට නොවූ පසුබිමක එළඹෙන ජනාධිපති මැතිවරණ ප්‍රතිපලය තීරණාත්මක වන්නේ රටේ අනාගතයට මිස රනිල් වික්‍රමසිංහට නම් නොවේ. පාලකයෙකු මිස නායකයෙකු වීමට උත්සාහ නො කළ රනිල් හැමදාම දිනුවේ පෙරේත පාදයෙනි. පැරදුණේ මිලියන ගණනිනි.  


ජනප්‍රියත්වයේ මුදුනට හෝ සමීප නොවූ ඒ ඉන්ද්‍රජාලික රනිල් වික්‍රමසිංහටත් ඔහුට ආවේනික වූ ආකාරයට තනිව ගෙදර යාමට සිදුවිය හැකි බව මගේ මිතුරාගේ විශ්වාසය වේ. ගෙවුණ දෙ වසර තුළ, රටේ යහපතට රනිල් වික්‍රමසිංහ කළ කිසිවක් මේ මැතිවරණ සංසිද්ධියේදී  ඔහුගේ වාසියට හැරී නැත. ඊට හේතු දෙකකි. පළමුවැන්න ඔහුට ජන ආකර්ශණයක් නැතිකමය. දෙවැන්න ඔහු රටට හිමි කළ සියල්ල අවලාද ලෙස මිස, ප්‍රතිලාභ හැටියට ජනතාවට ලඟා නො වීමය.

යටත් පිරිසෙයින් යූඇන්පී කාරයන් තුළ ඔහු කෙරෙහි පවත්නා නො කැමැත්ත හෝ එක් අංශු මාත්‍රයකින්වත්  අඩුවී නැත. අදටත් ලංකාවේ රාජපක්ෂලාට කැමති ඡන්ද දායක සංඛ්‍යාව තිස් ලක්ෂයකට ආසන්නය. බැසිල් රාජපක්ෂ පසුගිය කාලයේ මහ මැතිවරණයක් ඉල්ලා දත කෑවේත් එකී විශ්වාසය නිසාය. අනුර සජිත් දෙදෙනාම අදටත් අභියෝගය ලෙස සලකන රාජපක්ෂලා දුර්වල කිරීමට නම් රනිල් වික්‍රමසිංහ විනාස කළ යුතු බව දැඩි සේ විශ්වාස කරති.


2022 ජූලියේදී පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සිය දේපල ජීවිත සහ දරු මල්ලන් බේරා ගැනීමට බලයට පත් කළ රනිල් වික්‍රමසිංහ කියන්නේ දශක කිහිපයක සිට තමන්ගේ දේශපාලන ප්‍රති වාදියාම බව අමතක කර නැත. ඒ මානසිකත්වය විසින් ඉදිරි මැතිවරණයේදී ඡන්ද පොළට යවන තිස් හතළිස් ලක්ෂයක් ගණනකගේ කතිර රනිල්ටමද යන්න තවමත් තීරණය වී නැත. එහි තේරුම, රනිල් පොහොට්ටුවෙන් පමණක් ගොඩ යාමට කල්පනා කිරීම ප්‍රඥා ගෝචර නොවන  බව කී මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පතිවරයා 2015 අගොස්තුවේ පනස් ලක්ෂයකට හිමිකම් කී රනිල්, 2020දී තුන් ලක්ෂයකට හැකිළී ගියා මිස මේ වන විට එක් කතිරයක් හෝ වැඩිවෙලා තිබේදැයි විමසා සිටී.


එසේම, රනිල් එජාප නායකත්වය දැරූ, ගෙවී ගිය තිස් අවුරුදු ඉතිහාසයෙහි එජාප ඡන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 67 දෙනෙක් වරින් වර එජාපය හැර ගියහ. එකී තීරණය ගත් මුල්ම කිහිප දෙනා ගෙන් කෙනෙකු වූ කටාන විජේපාල මැන්දිස් කියන්නේ මහාමාන්‍ය ඩී.ඇස්.සේනානායක අතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් ජ්‍යෙෂ්ඨයෙක් බව මගේ මිතුරා සිහිපත් කරයි. 2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව කඩාගෙන රනිල් රටේ අගමැති කරවීමට එක්වූ පොදු පෙරමුණේ මන්ත්‍රීවරු සියල්ලෝම රනිල් හැර ගියහ. එහෙව් අතීත දේශපාලන අත්දැකීම් ලබා ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ පසුව හෝ අතීත පාඩම් හරහා අලුතෙන් සිතා පැරණි එක් පාක්ෂිකයෙකුට හෝ සමීප වීමට උත්සාහ දරා නැත.

1977දී පහෙන් තුනක් බලයක් පක්ෂයට ලබා දීමට කැපවී ක්‍රියා කළ එජාපයේ ග්‍රාමීය  ක්‍රියාකාරි තරුණයන්  විසි හතර දහසකට වගා නිලධාරි, විශේෂ සේවා නිලධාරි ආදි විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියා ලබා දීමට ජේ.ආර්. ජයවර්ධන අමතක කළේ නැත. එදා රාජ්‍ය සේවය එක්වූ නව යොවුන් එජාප බල ඇනිය, වසර 2013 දී 60 වයස් පිරී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් පසුබිමක වර්තමානයේ රාජ්‍ය සේවා වෘතීය සමිති රනිල්ගේ පාලනයට කරන තර්ජනය සුළුපටු නොවේ.

2001දී මුල් වරට බලයට පත් රනිල් වික්‍රමසිංහ නම් පාලකයා එතැන් සිට මේ දක්වා තම පාක්ෂිකයෙකුට සත පහක උදව්වක් කර නැත. විශේෂයෙන් 2001දී වසර දෙකක් යන තෙක් ආර්ථීක හේතු නිසා නව රස්සා හෝ ඇබෑර්තු නො පිරවීම නිසා,  2004 මැතිවරණයේදි එජාප හිතවතුන් තමන්ට මතක හිටින උත්තරයක් දුන් බව රනිල්ට මතක තිබිය යුතුවේ.  2015 යහ පාලන කාලයේදී රනිල්ට සිංගප්පූරුවේ ජීවත්වූ අර්ජුන් මහේන්ද්‍රන් ලා මිස ගමේ යූඇන්පී කාරයන් එකෙක් හෝ සිහිපත් නොවූ බව මගේ තලැත්තෑනි මිතුරා අවධාරණය කළ මගේ මිත්‍රයා, යම් විවේකයක් ගෙන මෙසේ කීය.

” ඔය ඔක්කෝම පරණ කතා… ඒවා අමතක කරමු. කී විශ්‍රාමිකයා නැවත කතා කරන්නට විය. 2022දී එකසිය තිස් ගණනක සහායයෙන් රටේ පාලකයා වූ ජනාධිපති වික්‍රමසිංහ තමන්ට අවාසිදායක අතීත වැරදි හදා ගැනීමට කිසිදු උත්සාහයක් නො දැරීම රනිල්ගේ මෝඩකම නොව ආවේනික උද්ධච්ඡකම බව කී විශ්‍රාමික විදුහල්පතිවරයා එකී දුර්වලකම ප්‍රකට කළ ආසන්නම උදාහරණය මෙසේ ගෙනහැර දැක්වීය.


රනිල් ජනාධිපති වි දෙසතියක් ඇතුළත ඇබෑර්තු වූ ශ්‍රී ලංකා රක්ෂණ සංසථාවේ සභාපති ධුරයට රනිල් නම් කළේ ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරාය. තවත් දෙතුන් මසක් ගෙවී ගිය තැන වුණ ඇබෑර්තුවූ ලංකා බැංකුවේ සභාපති තනතුරටත් රෝලන්ඩ් පෙරේරා හැර වෙනත් සුදුස්සෙකු රනිල් වික්‍රමසිංහට නොවී ය. එය හරියටම 2015දී ලංකා මහ බැංකු අධිපතිකමට අර්ජුන් මහේන්ද්‍රන් හැර ලෝකයේම වෙනත් කෙනෙක් නො සිටියා වැනි තේරීමකි. 2024 පෙබරවාරියේ සිය ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ කළමනාකරු ලෙස තෝරා ගැනීමට රනිල්ට සිටියේත් අර අසරණ රෝලන්ඩ් පෙරේරාම පමණක්  බව කී විශ්‍රාමික විදුහල් පති වරයා එහෙව් රනිල් වික්‍රමසිංහ ගැන රටේ හැට හැත්තෑ ලක්ෂයක් දෙනා ඒකරාශී කිරීම ලෙහෙසි පහසු වැඩක් කියා සිතනවාදැයි විමසා සිටියේය.


රනිල් තුන්වෙනි වරටත් ඒ ආකාරයෙන් රෝලන්ඩ්වම තෝරා ගැනීමෙන් අනතුරුව, මොකක්දෝ හේතුවක් නිසා නිසා ලංකා බැංකුවේ සභාපති කමෙන් රෝලන්ඩ් පෙරේරා ඉවත් කොට, කාවන් රත්නායක පත් කිරීමට රනිල් වික්‍රමසිංහ පියවර ගත් බව සිහිපත් කළ විශ්‍රාමික විදුහල්පතිවරයා ජනාධිපති වික්‍රමසිංහට තුන්වෙනි තනතුර සඳහාත් තෝරා ගැනීමට සුදුස්සන් තිදෙනෙකු නො සිටීම එළඹෙන මැතිවරණ සටනට කෙසේ බලපාවිදැයි විමසූ මගේ සගයා රටේ විධායක ජනාධිපති ලෙස රටේ ආර්ථීකය ශක්තිමත් කරන රනිල් වික්‍රමසිංහට කලක් තම නායකත්වය යටතේ ක්‍රියා කළ වර්තමාන සමගි ජන බල වේගයේ එක් මන්ත්‍රී වරයෙකු හෝ ආකර්ශණය කර ගැනීමට මෙතෙක් නො හැකිවීම යනු 47 වසරක දේශපාලන පළපුරුද්දක් ඇති, ඔහුගේ දේශපාලන උස මහත දිග පළල තේරුම් ගැනීමට භාවිතා කළ හැකි සරල නිර්නායකයක් බව කීවේ මුහුණට ජරා සිනාවක් නගා ගනිමිනි.

ඔහු කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණම අත්ත නැමුවා සේ රනිල් සමග සිටියත් එජාපයේ ගමේ හයිය නැති නම් රනිල් වික්‍රමසිංහට එළඹෙන ජනාධිපති සටන ලෙහෙසි පහසු නොවන බවය. තවදුරටත් කතා කළ මගේ මිත්‍රයා ගම්පහ ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා,  කුරුණෑගල අනුර ප්‍රියදර්ශන යාපා, අනුරාධපුර ශෙහාන් සේමසිංහ, මාතර කන්චන විජේසේකර ආදීහු රනිල් සුදුස්සා බව නො බියව කියන්නේතම පාක්ෂිකයන්ගේ හද ගැස්ම මැනවින් තේරුම් ගෙන සිටින නිසා විය හැකි බව කීය. එහෙත් වර්තමානයේ සජබය නියෝජනය කරන කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිනා ගැනීමට, රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ අන්තේවාසික රෝලන්ඩ්ලා බටගොඩලා සමරතුංගලා  අසමත්වීම යනු මගුල් ගෙදර හූනෙක් හැ`ඩීමෙන් නතර නොවී මනමාලයාගේ ඔලූවට මී ඛෙට්ටකුත් වැටුණා වැනි හිත් තිගස්සවන අසුබ නිමිත්තක් බව කියා සිනාසිණ.    

” හරි මොකක්ද හේතුව කියලා හිතෙන්නේ… බැරිම ගැන මම පෙරළා ප්‍රශ්න කළෙමි. මිත්‍රයා තමන් ලඟින් ඇසුරු කරන සජබ මන්ත්‍රී කෙනෙකු උපුටා දක්වමින් මෙසේ කීය.‍


” එයා කියන්නේ ලංකාවේ මිනිස්සු වඩාත් කැමති රනිල්ගේ දොස් ඇසීමට බවය. හාල් දුන්නාම ඒකේ ගුල්ලන්ය. පැට්‍රල් අඩු කළාම රුපියල් එකසිය ගණනට දෙන දිනය විමසා ලැබුණ වාසිය අමතක කරති. ඒ වුණත් සජිත්ගේ අජූත හැසිරීම් ගැන හිතෙන කොට ජනාධිපති තුමාගේ පෞරුෂය හරි ශක්තිමත්. අපිත් කැමති රනිල්ට. ඒත් කවුරුත් කියන්නේ රනිල්ගේ බෝට්ටුවේ නමත් ආසයි බයයි කියලා. ඒ මොකද? ”


”’ මිනිස්සු කැමති නැහැලූ. මිනිහා විශ්වාස කරන්න බැරිලූ. එයාගේ තේරීම හරි අමුතුයිලූ. එයා දේශපාලන තීරණ ගන්නේ හිතුවක්කාර විදියටලූ. රනිල් එක්ක ඉන්න අනෙක් ගෝල බාලයන් ඊටත් එහාලූ. රංගේ බණ්ඩාර ඡන්ද කල් දානවා කීව ගොං කතාව කිරි කළේට ගොම දැම්මා වාගේලූ. මේ නිසා රනිල්ට ඡන්දේ දෙන්න හිටපු එකාත් බනින්න පටන් ගන්නවා කියලා මෑන්  මට කියනවා.

” ඔක්කෝම හරි මං දැන් කතා කරනවා..”  එසේ කී මා මිතුරා නිහඬ කළෙමි. ඔහු මම ලැහැස්තියි කියන්නා මෙන් සූදානම් ශරීරය දක්වා සිටියේය.

” කාටද මේ ගමන ඡන්දෙ දෙන්නේ…” .

” මං නම් රනිල්ට…… ” ඔහු ක්ෂණීකව පිළිතුරු දුන්නේය.  

” ඉතින් මට පන්ති පවත්වන ගමේ යුඇන්පි කාරයා තවම රනිල්ට නේ.. ”


” ඉන්නවා තමයි. හැබැයි පෙනී හිටීමක් නෑ. ගිහින් කතිරේ ගහලා එන එකයි පෙනී සිටීමයි කියන්නේ දෙකක්නේ. කතිරෙට ගහන්නේ යන්නේ එක මොහොතයි. අඛණ්ඩව පෙනී සිටීම හරිම වාසි දායකයි. ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් දිනන පැත්තට කතිර ගහන තීරණය ගන්නේ සමහර විට ඡන්ද පොළටත් ගියාට පස්සේ.  රනිල්ට ඡන්දෙ දෙන යූඇන්පීකාර මම පැන්ෂන් ගත්ත විදුහල්පති කෙනෙක්. විද්‍යා පීඨ පුහුණුව ලබා ඉස්කෝලෙක උගන්වන මගේ දුවට රනිල් මතක් කරන්න බෑ. ගුරු සේවයට වෘත්තීය ගරුත්වයක් ලබා දුන්නේ රනිල් කියලා මම කිවාම එයා කියන්නේ ඕවා කියන්න ගිහින් අපට සවුත්තු වෙන් බැහැ කියලා.  


” මට තේරෙන්නේ නැහැ”

” මෙහෙමයි. ජනාධිපති වෙලා අවුරුදු දෙකක් ගියත් තමන් වෙනුවෙන් ගමේ කතා කරන පෙනී සිටින සංවිධානයක් හදන්න බැරිවෙච්ච හෝ අමතක කළ රනිල් කොහොමද ඡන්ද දිනන්නේ. සුනිල් රත්නප්‍රියයි, කීර්ති තෙන්නකොනුයි, මමයි ඡන්දෙ දුන්නාට රනිල්ට දිනන්න බෑනේ. කාලයක් රනිල්ගේ රැකවලූන් වෙච්ච තිස්ස අත්තනායක, මංගල සමරවීර, සුදත් චන්ද්‍රසේකර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ශිරාල් ලක්තිලක,  මෛත්‍රී ගුණරත්න, රනිල් අතහැර ප්‍රසිද්ධියේම සජිත්ට එකතු වුණා. රනිල් හැමදාම තෝරා ගත්තේ වැරදි මිනිස්සු. ඒක අවබෝධ කර ගත් රටේ වැඩි දෙනා හැමදාම රනිල් වෙනුවට තෝරා ගත්තේත් වැරදි මිනිහෙක්. ” ඒකෙන් රටට සිදුවූ විනාසයටත් වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ බව මගේ මිත්‍රයාගේ අදහසය.

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) නිදහස් ලේඛක
[email protected]


The Leader

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan