*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

ජනතාව අසරණ වූ මොහොතේ පැන ගිය දේශපාලනඥයන්ට සැප්තැම්බර් 21 කතිරයෙන් උත්තර දෙන්න – ජනපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

තමන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පසුගිය දෙවසර තුළ ගොඩ නැඟූ ආර්ථිකය ශක්තිමත් ස්ථාවරත්වයකට ගෙන ඒමට බවත් ඒ සඳහා තමන් ඉල්ලා සිටින්නේ වසර පහක කාලයක් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පෝලිම් යුගය අවසන් කර, ජීවන බර අඩු කර, බදු සහන ලබා දෙමින් මෙරට ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීමට පදනම සකස් කළ තමන්ට ඡන්දය ඉල්ලීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතාව දුෂ්කරතාවයට පත්ව සිටි අවස්ථාවේ පැන ගිය දේශපාලනඥයන්ට සැප්තැම්බර් 21 වනදා අමතක නොකර නියමිත තැන ලබා දෙන ලෙසද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (01) පෙරවරුවේ වව්නියාව Young Star ක්‍රීඩාංගණයේදී පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලියට එක් වෙමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන රැලියට අතිවිශාල පිරිසක් එක්ව සිටි බව පැවසේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සජිත් සහ අනුරගේ ප්‍රතිපත්තිය වන්නේ බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කළ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්තිය බවත් තම ප්‍රතිපත්තිය වන්නේ නිෂ්පාදනය වැඩි කර රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

කාදර් මස්තාන් මහතාට වගකීමක් භාර දුන්නොත් ඔහු එය සාර්ථකව සිදු කරනවා. දිලිපන් මන්ත්‍රීතුමා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ජයග්‍රහණයකින් එය අවසන්
කරනවා.

මෙහි සිටින සියළුම දෙනා සංවිධාන ශක්තියෙන් ඉහළයි. කාලයක් අපි එකිනෙකාට විරැද්ධව තරග කළා. දැන් අපි සියළු දෙනා එකට එක්ව සිටිනවා. මීට අවුරුදු දෙකකට පෙර ආහාර තිබුණේ නැහැ. ඉන්ධන නෑ. විදුලිබලය නෑ. අනාගතයක් පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණෙත් නෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා මැයි 09 වනදා ඉල්ලා අස් වුණා. සජිත් ප්‍රේමදාස රට භාර ගනියි කියා අපි හිතුවා. “ මට බැහැ” කියා ඔහු රට භාර නොගන්නා බව අඟහරුවාදා රාත්‍රිය වන විට අපට ආරංචි වුණා.
බදාදා දිනයේදී සරත් ෆොන්සේකා මහතා අගමැති වීමට සූදානම් බවත් දැන ගන්නට ලැබුණා.

මං කිව්වා කවුරු අගමැති වුනත් අපි උදව් කරන්නම් කියලා. නමුත් බදාදා හැන්දෑව වන විට එතුමාත් අත හැරලා. බ්‍රහස්පතින්දා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා අගමැතිකම භාර ගෙන දිවුරුම් දෙන්න කියලා.

එදා මම ගියේ මා පිටුපස කවුරුවත් නැතිව තනි පුද්ගලයෙක් ලෙසයි. අත්පුඩි ගහන්නවත් කවුරුවත් නෑ. නමුත් මේ මන්ත්‍රීවරුන් කිව්වා ඔබතුමා වගකීම භාර ගන්න අපි උදව් කරන්නම් කියලා. ජුලි 09 වනදා හිටපු ජනාධිපතිතුමාටත් ධුරය හැර යන්න සිදු වුණා.  ජනාධිපතිධුරය මට භාර ගන්න සිදු වුණා.

විපක්ෂය කිව්වා මට භාර ගන්න එපා කියලා. මම ඇහුවා කවුද භාර ගන්නේ කියලා.සජිත් සහ අනුර කිව්වා ඔවුන් කවුරුත් භාර ගන්නේ නැහැ කියලා. කථානායකතුමාට රට භාර ගන්න කිව්වා. ඔවුන් ඒ
අභියෝගය භාර නොගෙන ඒ වතාවෙත් පැනලා ගියා.

එදා පාර්ලිමේන්තුව වට කරන්න ආපු වෙලාවේ මේ පිරිස පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටියා . කට්ටිය එනවා කිව්වාම සියළු දෙනා පැනලා ගියා. මම හමුදාවට කිව්වා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කියලා.කථානායකතුමා මට කිව්වා, මම පාර්ලිමේන්තුව පාලනය කරන්නම්, ඔබතුමා රට පාලනය කරන්න, ජනාධිපතිධූරය භාර ගන්න කියලා. මං ඒ පියවර ගත්තේ නැත්නම් අද මේ රට බංගලිදේශය වගේ වෙනවා.නමුත් සජිත් සහ අනුර රට වටේ ගිහින් කිව්වේ මම රනිල් රාජපක්ෂ කියලයි. නමුත් දැන් රාජපක්ෂලා පිටව ගිහින්. දැන් ඔවුන්ට කියන්න දෙයක් නැහැ. නමුත් මේ අවුරුදු දෙක තුළ අප 70% ට තිබූ උද්ධමනය 2%ට අඩු කළා. රතු පරිප්පු මිල 40%කින් අඩු වුණා. තිරිඟු පිටි මිල 29%කින් අඩු වුණා.

කුකුළු මස් මිල 11%කින් අඩු වුණා. ඩීසල් මිල 28%කින් අඩු වුණා. ගෑස් මිල 31%කින් අඩු වුණා. දළ දේශීය නිෂ්පාදනය 2022 වන විට ඩොලර් බිලියන 76යක් ලෙස තිබුණත් 2023 වසරේදී එය ඩොලර් බිලියන 84ක් දක්වා වර්ධනය වුණා.අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ සහයෝගය ලබා ගත්තා. රට භාර ගෙන වසරක් ගත වන විට භාණ්ඩ මිල අඩුවුණා පමණක් නොවෙයි රාජ්‍ය සේවකයන්ගේ දීමනා පළමුව රු.5000/= කින්ද, අනතුරුව රු.10000/=කින්ද මාසික වැටුපට එක් කළා.උදය සෙනෙවිරත්න වාර්තාව අනුව වැටුප් වැඩි කර තිබෙනවා. ඒ වගේම විශ්‍රාමික හා ආබාධිත ප්‍රජාවට සිදු කරන ගෙවීම් වැඩි කරල තිබෙනවා. ගැබිණි මව්වරුන්ගේ දීමනාද වැඩි කර තිබෙනවා. සමෘද්ධි ප්‍රතිලාභය මෙන් තුන් ගුණයක් අප අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට ලබා දුන්නා.

එසේම එම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව ලක්ෂ 24ක් දක්වා වැඩි කරනවා. අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමටද අප කටයුතු කළා. පොහොර මිළ අඩු කළා. උරුමය වැඩසටහන හරහා ජනතාවට
සින්නක්ර ඉඩම් ඔප්පු ලබා දුන්නා. ඒ වගේම කොළඹ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ලබා දෙනවා. වතුකරයේ ජනතාව වෙනුවෙන් නව ගම්මාන ඇති කරනවා.මේ ආකාරයට අද රටේ ස්ථාවරභාවයක් තියෙනවා. ජනාධිපතිවරණයක් පැවැත්වීමට ද අවස්ථාව ලැබී තිබෙනවා. අපි බංගලිදේශය වගේ නොවෙයි. මේ රට එම තත්ත්වයට පත් වීම මං බේරගත්තා. මේ වන විට එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා. මන්ත්‍රීවරුන් 29ක් ඝාතනය කරලා. අග්‍ර විනිශ්චයකාරවරයාව ගෙදර යවලා. මේ වන විට එරට ඡන්දයක් පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. නමුත් අපි සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දය පවත්වනවා.

දැන් තමයි රනිල් වික්‍රමසිංහගේ පාලනය දකින්නේ. එහෙනම් මට ඡන්දය ඉල්ලන්න අයිතියක් තිබෙනවා. එහෙනම් පැනලා ගිය අයට මොකද කරන්නේ. ඔවුන්ව අමතක කරන්න එපා. ඔවුන්ට දෙවෙනි සහ තුන්වන තැන දෙන්න. අපි මේ ආර්ථිකය හැදුවා.ජනාධිපතිවරණයට මම එන්නේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කරන්න. අපිට හැමදාම ණය අරගෙන ජීවත් වෙන්න බැහැ. මෙරටට විදේශ විනිමය හිඟයක් තිබෙනවා. ඒ නිසා අපි අපනයන ආර්ථිකයක් ඇති කර විදේශ විනිමය අතිරික්තයන් ලබා ගත යුතුයි. ඔබේ නිවස කඩා වැටුනොත් මොකද කරන්නේ? එය ශක්තිමත් පදනමක් මත ආපසු ගොඩ නැඟිය යුතුයි.අත්තිවාරමේ අඩුපාඩු ඇත්නම් එය සැලසිය යුතුයි. මේ ඡන්දයට මම ඉදිරිපත් වුනේ ඒ ආකාරයට රටේ වැඩ කටයුතු සිදු කිරීමටයි. මේ වන විටත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව, චීන එක්සිම් බැංකුව ඇතුළු තවත් රටවල් 17ක සහයෝගය ලබාගෙන තිබෙනවා. ඒනිසා තමයි විශේෂයෙන්ම ඇමරිකාව, ඉන්දියාව, ජපානය, යුරෝපය ඇතුළු සියලු රටවල් අපට උදව් කළේ.

මේ රට ස්ථාවර කරන්න මම ඉල්ලන්නේ අවුරුදු පහයි. එම වැඩ කටයුත්ත මම අවුරුදු 4න් අවසන් කරනවා. මගේ පරමාර්ථය ජීවන බර අඩු කිරීම, ගෙවන බදු වෙනුවෙන් සහනයක් ලබා දී සහ බදු බර සැහැල්ලු කිරීමයි. ඉහළ වැටුප් සහිත රැකියා වැඩි ප්‍රමාණයක් ඇති කිරීමයි. ඒ වගේම ආර්ථිකය අපනයන ආර්ථිකයක් පරිවර්තනය කිරීමයි. ඒ වගේම උරුමය සහ අස්වැසුම වැඩසටහන් ක්‍රියාත්මක
කිරීමයි.මම ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරන්නේ රුපියල ශක්තිමත් කිරීම හරහායි. රුපියල ශක්තිමත් කරන්නේ දළ දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙන්. 2022 වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 76යි. 2023 වසරේදී එය ඩොලර් බිලියන 84ක් දක්වා ගෙන ඒමට හැකි වුණා. ඒ අතර අස්වැසුම සහ පොහොර ලබා දීමටද සිදුව තිබුණා.අප යල මහ කන්න සාර්ථක කර ගනිමින් නිෂ්පාදනය වැඩි කර ගත්තා. සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගියා. 2024 වන විට නිෂ්පාදනය තවත් වැඩිවෙලා තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල 370 සිට 300 දක්වා ශක්තිමත් වී තිබෙනවා.

සජිත් සහ අනුර කියන්නේ බදු අඩු කර රටේ ආදායම අඩු කරනවා කියලයි. ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේදී ඔය ආකාරයට බදු අඩු කිරීම නිසා තමයි අපි මේ කරදරයේ වැටුණේ. ඔහු රටේ ආදායම අඩු කළා. ජනතාව ගෑස් පෝලිමට හිටියා. පෙට්‍රල් පෝලිමේ හිටියා. පොහොර නැති වුණා. ඒ තත්ත්වයට ආපසු යන්න ඕනද? අනුර නැතත් සජිත් නැතත්පොහොර තියෙනවා.නිෂ්පාදනය වැඩි වන විට රජයේ ආදායම වැඩි වෙනවා. රජයේ ආදායම වැඩි වූ විට බදු බර සැහැල්ලු කළ හැකියි. මම 2025- 2026 සිදු කිරීමට යන කටයුත්ත එයයි. මෙය තවත් සීග්‍රයෙන් ඉදිරියට ගෙන යා යුතුයි. තරුණයන්හට රැකියා අවස්ථා ලක්ෂයක් ලබන අවුරුද්දේ රාජ්‍ය හා පෞද්ගලික අංශය ආශ්‍රිතව ලබා දෙනවා.පෞද්ගලික අංශයේ වසරක පුහුණුව ලබා දී ස්ථිර රැකියා සඳහා යොමු කරනවා. ස්වයං රැකියා සඳහා අපි ආධාර දෙනවා. තවත් 50000කට වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා.

මේ ආකාරයට රටේ විශාල දියුණුවක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අනෙක් පක්ෂ ප්‍රතිපත්තිවල රැකියා සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වී නැහැ. ඔවුන් ඒ පිළිබඳව නිශ්ශබ්දයි. නමුත් සැප්තැම්බර් 22 සිට ආරම්භ කිරීමට අපට සැලස්මක් තිබෙනවා.ඒ වගේම මේ ප්‍රදේශය දියුණු කිරීමටද කටයුතු කරනවා. කෘෂි නවිකරණය මෙම ප්‍රදේයට ගෙන ‍එනවා. මල්වතුඔය ව්‍යාපාරය හරහා ජල සැපයීම විධිමත් කරනවා. වව්නියාව, මුලතිවු, මන්නාරම යන ප්‍රදේශ දියුණු කළ යුතුයි. සංචාරක පැමිණීම ලක්ෂ 25 සිට ලක්ෂ 50 දක්වා වැඩි කළ විට මේ ප්‍රදේශවලටත් සංචාරකයන් පැමිණෙනවා.යාපනය, කිලිනොච්චි, මාන්කුලම් ප්‍රදේශ ආශ්‍රිතව ආයෝජන කලාප ඇති කරනවා. සූර්ය බලය මෙම ප්‍රදේශයට ආදායම් උපයන මාර්ගයක් බවට පත් කළ හැකියි. ත්‍රී රෝද රථ සඳහා ණය ගත් පිරිසට ඉදිරියේදී සහන ලබා දීමට කටයුතු කරනවා. මට අවශ්‍ය මේ ආර්ථිකය පරිවර්තනය කිරීමයි. මෙම ප්‍රදේශයේ ඇති ඉඩම් ප්‍රශ්නයද විසඳීමට කටයුතු කරනවා.

මධ්‍යම පන්තියේ අඩු ආදායම්ලාභීන්ට නිවසක් ඉදි කර ගැනීමට සහන ණයක් ලබා දෙනවා. අපි සජිත්ගේ නිවාසවලටත් ඒ සහනය දෙනවා. එවිට එම ජනතාවටත් ශක්තිමත් පදනමක් සහිත හොඳ නිවසක් ඉදි කර ගත හැකියි. මේ වැඩ අනුරට පුළුවන්ද?සජිත්ට පුළුවන්ද? ඔබට අවශ්‍යය මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමටද? නැද්ද ? ඔබට අවශ්‍ය වන්නේ හොඳ හ්‍රී ලංකාවක ජීවත් වීමටද? නැත්නම් තවත් බංග්ලාදේශයකට යන්නද? ඒ තීරණය සැප්තැම්බර් 21 තීරණය වෙනවා. එදාට ගෑස් සිලින්ඩරයට කතිරය ළකුණු කරන්න. එසේ නොකළහොත් ගෑස් සිලින්ඩරය වගේම මේ රටත් පුපුරනවා” ලෙස ජනාධිපතිවරයා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan