පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් අනුර එක්ක එකතු වෙලා IMF ගිවිසුම වෙනස් කරනවා – සජිත්

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණොත් ජනාධිපතිවරයා සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කළ අසාධාරණ බදු සූත්‍රය ඉක්මණින් වෙනස් වෙනු ඇතැයි යන විශ්වාසයෙන් සිටින බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව මේ බදු සූත්‍රය වෙනස් කරන විට IMF සමඟ සාකච්ඡා කර කටවචනයට පමණක් නොව ප්‍රායෝගිකව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බවත් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාව තමන්ගේ සෘජු සහ වක්‍ර බදු අඩු වන තුරු අපේක්ෂාවෙන් සිටින බවත් සජිත් හෙතෙම පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැද කොළඹ සංවිධායක මුජිබර් රහ්මාන් මහතාගේ මූලිකත්වයෙන් පැවැති ජන හමුවකදීය.

එසේ ම පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබා දුන් පසු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ එකට කටයුතු කර IMF ගිවිසුමේ ඇති ජනතා විරෝධී විධිවිධාන වෙනස් කර ජනතාවගේ පැත්තෙන් ජනතාවට බරක් පැටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කරන නව ගිවිසුමකට යන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

සමගි ජන බලවේගය විපක්ෂයේ සිටින විට IMF නියෝජිතයන් සමඟ වට ගණනාවක් සාකච්ඡා කළ බවද එහිදී ඔහු පැවසුවේය.

එම සාකච්ඡාවලදී හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරන බදු සූත්‍රය අසාධාරණ බැවින් එය වෙනස් කරන බව පැවසූ බවත් ඉලක්ක කර ගත් රාජ්‍ය ආදායමට වඩා වැඩි ආදායමක් ලැබෙන මේ අසාධාරණ බදු සූත්‍රය ජනතා වරමින් වෙනස් කරන බව පැවසූ බවත් මෙවර සමගි ජන බලවේගයට රටේ ජනතාව බලය ලබා දුන් පසු එම වරමින් නව IMF ගිවිසුමක් සකස් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගර්භනී මවගේ සිට ළදරු පරපුර, දරු පරපුර, වැඩිහිටි තරුණ ජන සමාජයේ සියලු දෙනාට විශාලම හානියක් කරන බදු සූත්‍රයක් රටේ ඇති හෙයින් එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව බවයි ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

ඔවුන්ට ජනතාවගේ පැත්තෙන් සිතා ජනතාවගේ කරපිට අසීමිත බරක් පටවන්නේ නැති ජනතාවාදී වැඩපිළිවෙළකට යා හැකි වුවත් සීමාවෙන් එහා ගොස් බදු පිට බදු පැටවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...