*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

සුරා බද්ද වැඩි කිරීම සහ රිපීට් වෙන ගොංපාට් !

“අරක්කු මිල අඩු කරව්” යන සටන් පාඨය සුවහසක් මිනිසුන්ගේ හිත් තුළ රැව් දුන්නද එය එළිපිට කියන්නේ එහෙමත් එකෙකි. මෑත ඉතිහාසයේ සිට සුරාව සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති අධිපති මතවාදය (ජනප්‍රිය බුදු දහමේ සමහර මැදිහත්වීම් යැයි සිතිය හැකි) නිසාවෙන් හිතුමනාපයට මත්පැන් බදු ගසා මිල වැඩි කිරීම ආණ්ඩු විසින් කරගෙන යන්නේ එහෙයිනි.

ඒ සමාජයක් ඉදිරියේ මේ අසාධාරණයට එරෙහිව සෑහෙන විරෝධයක් නොනැගෙන බව දන්නා නිසා ය.

බොහෝ කරුණු කාරණාවලදී සේම ජාතික ජනබලවේග ආණ්ඩුව බදු ගැසීම විෂයෙහිද පෙර පැවැති ආණ්ඩුවලින් වෙනස් වන්නේ නැති බව මේ වෙන විට පෙන්වා දෙමින් සිටී.

මේ අතර ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර කියා ඇත්තේ මත්පැන් සිගරැට් බදු වැඩි කළේ පවුල් සතුටින් තැබීමට බවත් කිසිම පවුලක බිරිඳක් මේ තීරණයට විරුද්ධ නොවෙන බවත් ය. මේ අප කාලයක් තිස්සේ අසා පුරුදු ගොං කතාවයි. එච්චර අමාරුවක් තියේ නම් බදු වැඩි නොකර මත්පැන් තහනම් කිරීමට පණතක් සම්මත නොකරන්නේ ඇයි දැයි පෙරළා විමසිය යුතු ය .

වතාවක් යහපාලන සමයේ ඇමැති රවි කරුණානායක මත්පැන් බදු වැඩි කර අය-වැය බැලන්ස් කිරීමට උදව් ගත් වෙලේ ද අප ලීවේ අරක්කු ටිකට බදු ගසා අයවැය බැලන්ස් කරන්න නම් ආණ්ඩුවක් අවශ්‍ය නැති බවයි. මෙතැනදීද කිව යුත්තේ එම කතාවම ය.

මිල අඩු අරක්කු බෝතලයක් ගැන හාහෝවක් හඳුන්ලා විසින් කියාගෙන ගියේ මේ බදු කෙළීම ළඟ ළඟ එන නිසා බැව් පැහැදිලි ය.

මත්පැන් සහ සිගරැට් යනු මිනිසුන්ගේ සංස්කෘතික කලාපයේ අනිවාර්ය අඩංගුවකි. ආගමික නිකායවල්වලින් වෙසෙස් ව ලෞකික ජීවිත ගත කරන රටවල මත්පැන් හා අනන්‍ය වුණ සංස්කෘතියක් තිබේ.මත්පැන් මිනිසාගේ සංස්කෘතික අයිතියකි. වැඩිදුරටත් එය පුද්ගලබද්ධ ආතල් එකකි. එය පාලනයකින් තොරව ගන්නා අයෙකුට විවිධ රෝගාබාධ ඇති වන බව ඇත්තකි. මත්පැන් පමණක් නොව බත් කෑම ආතල් එකක් කරගත් අයෙකු සලකන්න.පමණට වඩා බත් ආහාරයට ගන්නේ නම් ඔහුට අවසානයේ මධ්‍යසාර නොවන සිරෝසිස් රෝගය ඇති වෙයි. දියවැඩියාව ඇති වෙයි. මත්පැන් බී අක්මා ප්‍රදාහය හැ‍දෙනවා සේ ම බත්, පිටි පමණ ඉක්මවා කෑ‍ම නිසා ද අක්මා ප්‍රදාහ ඇති වෙයි. මිනිසුන්ගේ ආතල් වෙනස් ය.

ආගමික පසුබිම නිසාවෙන් මත්පැන් කෙරෙහි නිර්මාණය වී ඇති අධිපති දෘෂ්ටිවාදය දඩමීමා කරගෙන මෙලෙස බදු ගැසීමත් එය සාධාරණීකරණය කරනු පිණිස එකී මතවාද වසුරු හෙළීමත් ලැජ්ජාසහගත බව කිව යතූ ය.

2019ට පෙර කාලයේ පිටකොටුවාසන්න වලේ අවන්හල අප නිතර ගැවසුණ තැනකි. එතැන වේවා, රන්ගිරිය වේවා, කොලෝනියලය වේවා වැඩ ඇරී සමහර කාර්යාල දුම්රීන් පැමිණෙන තුරු මත්පැන් ස්වල්පයක වේදනා පිරිපත දියකර හරින දහසක් රාජ්‍ය සේවකයෝ දැක ඇත්තෙමි. වලේ අවන්හලේ කාර්යාල ඇරුණු පසු මේසයක් වෙන් කර ගැනීම එකල උගහට බව අපේ මිතුරු සමාගමය දනිති. මේ වේලාවට එතැන නගින්නේ ගුමුගුමු නාදයකි. ගෙදර ගොස් ඇරියස් පිරිමසාගනු වෙනුවට ඒ මේස වල තම වේදනා පිරිපත දියව යන බව අප දැක ඇත්තෙමු. 8 පමණ වෙද්දී මේස සියල්ල පාහේ සිස් වී යයි.

සුරා බද්ද වැඩි කළා කියා බීමට ඇබ්බැහි වූවන් නොබී ඉන්නේ නැත. දේවානන්දලා ගොංපාට් කීවාට මෙයින් සිදුවන්නේ දරිද්‍රතා කුටුම්බ තවත් විනාසයට ගොස් (බොන එකා කොහොමත් බොන බැවින් අඩු වන්නේ ගෙදරට දෙන ගණනයි) බීමේ ඇරියස් ගෙදර උන්දැලා ගාණේ පිටවීම පමණි.

මේ කල අප දන්නා බොහෝ අවන්හල් වැසී ගියේ මිල ගණන් දරාගන්නට බැරි නිසා පාරිභෝගික පැමිණීම අඩු වූ නිසා ය. සාමාන්‍ය මිනිසාගේ මත්පැන වූ ගල් අරක්කු බෝතලය මේ වන විට රුපියල් 4000කට පමණ ආසන්න වී තිබේ. ඒ මිනිසාගේ දෛනික වේතනය රුපියල් 2000ක් පමණ වෙද්දී , සිදුවන සන්තෑසිය අපට නම් බිමේදී දකින්නට හමුවේ.

යමක් කමක් ඇති මැද පංතිය පවා දැන් අවන්හල්වල සෙට් වෙන්නේ නැත. අවුළුපත් සහ අනෙක් අඩුම කුඩුම සමඟ එකතු වී එන බිල දරාගත නොහැකි බැවිනි. ඇති හැකි අය ඉහළම අවන්හල්වල මිල අධික මත්පැනින් සැනහී පවත්වන සාද තෙපුලට ඉන් හානියක් නොවේ.

අප දන්නා ඉතිහාසයේ මත්පැනක මිල අඩු කළේ චන්ද්‍රිකා පමණක් බව මතකය. කන බොන සංස්කෘතික මනුස්ස ප්‍රාණයක් වූ චන්ද්‍රිකා එය කළ අතර මාලිමා ආණ්ඩුවේ සංස්කෘතික පරිමාව ගැන දැන් අපට දළ වශයෙන් අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙමින් තිබේ. කිඹුලා කන එක ඉවසිය හැකි වුවත් කොහිල කටු ඇණෙන එක ඉවසිය නොහැකි බැවින් අපේ මිත්‍රයන්ට කිව යුත්තේ කරුණාකර දේවානන්දලාගේ ගොං කතා නවතාගන්න කියන්නට කියාය. ආණ්ඩුව ජනතාවාදී නම් කළ යුතු ව තිබුණේ ඉහළ පංතික ජනයා බහුලව භාවිත කරන මත්පැන්වල මිල ඉහළ දැමීම මිස ගල් අරක්කු වැනි ඒවායේ බදු වැඩි කිරීම නොවේ.

හඬක් නොනැගන සුවහසක් ජනයාගේ සංස්කෘතික ජීවිතය වෙනුවෙන් අප හඬ නගා මෙසේ කියමු!

පාලකයිනි,
පොදු ජනයා පරිභෝජනය කරන අරක්කු මිල අඩු කරව් !

~ සඳුන් ප්‍රියංකර විතානගේ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan