කොළඹ කොටස් වෙළඳපොලට දින තුනකදී රුපියල් කෝටි 43,537ක් අහිමිවෙයි !

0
582

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් නව තීරුබදු ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමග ලෝකයේ රටවල් ගණනාවක කොටස් වෙළඳපල ගනුදෙනුවල දැවැන්ත පසුබෑමක් වාර්තා වෙමින් තිබේ.

ඒ අනුව, කොළඹ කොටස් වෙළඳපොල ද ගනුදෙනු සිදුකළ දින තුනක් තුළ ඉතිහාසගත කඩාවැටීමක් පෙන්නුම් කළේය.

අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,007.44ක් වශයෙන් සටහන්ව තිබිණි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව තීරුබදු පැනවීම සිදුව තිබුණේ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 03 වනදා අලුයම ය. ඒ අනුව, එම නිවේදනයෙන් පසු කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු සිදුකෙරුණු අප්‍රේල් 03, 04 සහ 07 යන දින තුන අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14,660.45ක් දක්වා දැවැන්ත පහළයාමක් වාර්තා කර ඇත. එනම් මෙම ගනුදෙනු දින 03 තුළ දී පමණක් ඒකක 1,346.99 කින්, නැතහොත් 8.41%කින් කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටී ඇත.

එසේම අප්‍රේල් 02 වනදා ගනුදෙනු අවසන් වෙද්දී කොළඹ කොටස් වෙළඳපොලේ වෙඳපොල ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 5,688.56ක් වශයෙන් සටහන්ව පැවතිණි. එම වටිනාකම ඊයේ (අප්‍රේල් 07) ගනුදෙනු අවසන් වෙද්දී රු. බිලියන 5,253.18ක් දක්වා පහත වැටී ඇත. ඒ අනුව ඉහත කී දින 03 තුළ දී පමණක් රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක්, කොළඹ කොටස් වෙළෙඳපොලෙන් ඉවත්ව තිබේ.

ඊයේ (අප්‍රේල් 07) දිනය තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපොලට අහිමි වූ වටිනාකම රුපියල් කෝටි 22700 කි.

2025 අප්‍රේල් 03
2025 අප්‍රේල් 04
2025 අප්‍රේල් 07