නිශ්මං රණසිංහ අප්‍රේල් 10 කොළඹ LNW :
අප ඊයේ තරුශි කරුණාරත්නගේ සහෝදරයා වන හර්ශ කරුණාරත්නගේ නම දකුණු ආසියාතික මලල ක්‍රීඩා තරගාවලියෙන් ඉවත් කිරීම අසාධාරණ බව පවසා සිටියා.එසේම අප තෝරා ගත් කණ්ඩායමට හර්ෂගේ නම ඇතුළත් විය යුතු බවත්,වැඩි පිරිසකට දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ අවස්ථාව දීම වැදගත් බවත් පවසා සිටියා.මේ තත්ත්වය වැඩි කරගෙන අපේ රටේ වැඩි පිරිසකට ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා දිය හැකි ක්‍රීඩා ඉසව්ව දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල බවත් අප එම සටහනෙන් පැහැදිළි කරනු ලැබුවා.
එම සටහන සම්බන්ධයෙන් ඊට අදාළව අදහස් දැක් වූ කිහිප දෙනෙකුම ප්‍රකාශ කරේ ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩාව සඳහා නම් කරන කණ්ඩායම 35 ට සීමා කරන ලෙස දන්වා සිටීමෙන් පසුව හර්ශ පමණක් නොව තවත් ක්‍රීඩකයින්ට අවස්ථාව දීමට සිතා සිටියත්,එම සීමාවෙන් ඒ සියල්ල නැවතී ඇති බවයි.
මෑතකදී ඉන්දියානු අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයේදී සිඳු වුයේ ජාතික ජන බලවේග රජය තුළ සිටින ජවිපෙ ඉතා තදින් බලයට ඒමට පෙර විරෝධය දැක් වූ ගිවිසුම් අත්සන් කර ඉන්දියාව සනසවා යැවීම පමණක් ද කියා සිතෙනවා.අප නව රජය පත් වූ විගසම ඉන්දියාව මේ මොහොතේ ක්‍රීඩාව තුළ සිටින දැඩි ස්ථාවරය පාදක කරගෙන භෞතික වශයෙන් ක්‍රීඩාවට ගත හැකි ආධාර උපකාර ගැනද සඳහන් කළා.විශේෂයෙන් නව ඔලිම්පික් කමිටු සභාපතිණිය වන කිර්ස්ටි කොවෙන්ට්‍රිගේ මැදිහත්වීම මත 2036 ඔලිම්පික් තරගාවලිය ඉන්දියාවේ අහමදාබාද් වෙත ලැබෙනු ඇතැයි ඉකුත් සතියේ පී.ටී.ඌෂා පවසා සිටියා.එවැනි කොළ එළියක් ඌෂා පෙන්වන්නේ සභාපතිණිය කැමත්ත දැක්වීම ඔවුන්ට දිනා ගැනීම සඳහා වන ලංසුවේදී වැඩි කැමත්ත ලබා ගැනීමට හේතුවක් වනු ඇති බව දන්නා නිසයි.
ඒ නිසා ඉන්දියාව සමඟ ගිවිසුම් ගත වන අවස්ථාවන්වල සිටගෙන සිටීම සහ ඉන්දීය නායකයාට අතට අත දීම් කිරීම හැරෙන්නට ක්‍රීඩා ඇමතිවරුන්ට දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට වැඩි පිරිසක් සහභාගි කරවීම සඳහා අවශ්‍යය මූල්‍යමය සහය ඉල්ලා සිටින්න තිබුණා.ගුවන් ගමන් පහසුකම් සම්බන්ධයෙන් මෙන්ම තෝරා ගත් පදක්කම් බලාපොරොත්තු ක්‍රීඩා සඳහා ඉක්මණින් ඉන්දියාවට ගොසු පුහුණුවීමට අවස්ථාව ඉල්ලා සිටින්න ද තිබුණා.දන්නා තරමින් මේ දක්වා ඉන්දීය නායකයාගේ සංචාරය තුළ ක්‍රීඩාවට දෙන සහනයක් හෝ ආධාරයක් ගැන සඳහන් වෙලාම නැහැ.
ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන් ක්‍රීඩාවට දෙන්නේ අඩු අවධානයක්.පාර්ලිමේන්තුවේ සල්ලි වලින් හෙළවෙන ක්‍රිකට් කතා ඇසෙනවා හැරෙන්නට වෙනත් ක්‍රීඩා ගැන කතා කරනවා අඩුයි.එහෙත් ඉන්දීය නායකයා ක්‍රීඩාව ගැන අවදියෙන් සිටිනවා.අහමදාබාද් ඔලිම්පික් හරහා ඉන්දියාව ලෝකයට රැඟෙන යාම සඳහා මෝදි විශාල කැපවීමකින් රජයේ අනුග්‍රහය සහ ආධාරය ලබා දෙමින් සිටිනවා.එහෙත් මෝදි සමඟ ක්‍රීඩාව ගැන කතා කර ආසන්නම අවස්ථාව වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට මූල්‍යමය ප්‍රශ්න නිසා සීමා කර තිබෙන සහභාගීත්වයන් වැඩි කරන්න ආධාරයක් හෝ ඉල්ලා නොගැනීම කණගාටුවට කරුණක්.එහෙත් මේ මොහොතත් ප්‍රමාද නැහැ.ඉන්දිය තානාපති කාර්යාලය හරහා මෝදිගෙන් මේ සහය ඉල්ලා සිටින්නට හැකියි.
වඩාත්ම වැදගත් වන්නේ මේ අවස්ථාවේ වැඩි පිරිසක් මේ දකුණු ආසියාතික තරගාවලියට සහභාගි කරවීමයි.ඒ ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කර එහිදී වසර ගණනක් තිස්සේ මීටර් 800 ඉසව්වේ ප්‍රමුඛයා ලෙස සිටින හර්ශ කරුණාරත්නට එම තරගාවලිය නියෝජනයට අවස්ථාවක් ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
