සටහන – රුවන් නෙළුගොල්ල
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යනු රනිල් වික්‍රමසිංහ මහතා භාරගත් රජයේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී උදව් කළ අයෙකු බවත් ඔහුව අත් අඩංගුවට ගත් මොහොතේදී ඒ පිළිබඳව සොයාබැලීමට රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වූයේ ඒ නිසා බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
“රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරපු කෙනෙක් එතුමාගේ ජනාධිපතිවරණයේදී, එතුමා බාරගත්ත රජයේ හිටපු ඇමතිවරයෙක් පිල්ලෙයාන් මහත්මයා. එතකොට හදිසියේ කවුරුත් දන්නෙ නැතිව එකපාරට මොකක් හරි අත් අඩංගුවට ගැනීමක් සිද්ධ වුණාම ඒ ගැන සොයාබැලීම වගකිවයුතු වගේම ශිෂ්ටසම්පන්න මනුස්සයෙක්ගෙ යුතුකමක්. ඒක එතුමා ඉෂ්ට කළේ. ඒකෙ ඒ හැරෙන්න වෙන දෙයක් නෑ කොච්චර මවන්න හැදුවත්. අපි කැමතියි රනිල් වික්‍රමසිංහ මහත්තයාව CID එකට ගෙනියලා මොකක්ද හේතුව මේ කෝල් එකට කියලා අහනවා නම්. මොකද මේකෙ හංගන්න දෙයක් නෑ. දැන් බටලන්දක් ඇහුවා, දැන් මේ කෝල් එකක් අල්ලන් ගහනවා. අර චාමර සම්පත් ඇමතිතුමා ගැන කරපු ප්‍රකාශයට දැන් ප්‍රකාශයක් ගන්න ඕනෙ ලු. ඕවාට අපි සූදානම්. එතුමා නෙවෙයි ඕනෙ කෙනෙක් අපේ පක්ෂයේ අපි ලෑස්තියි. හංගන්නෙත් නෑ, හැංගෙන්නෙත් නෑ, හංගන්නත් බෑ කාටවත්”
තලතා අතුකෝරාළ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 20) කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
