EXCLUSIVE : නාවික හමුදාව ඉවත් වීමෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකිරීම් නවතී !

Date:

ශ්‍රම දායකත්වය ලබාදීම සඳහා අනුයුක්ත කර සිටි නාවික හමුදා සෙබළුන් ඉවත් කරගැනීම හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක වැඩකටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර සවිකර ඇති “ලිනැක්” ගොඩනැගිල්ල ලෙස හඳුන්වන මෙම ගොඩනැගිල්ල සැලසුම් කර තිබී ඇත්තේ මහල් පහකින් සමන්විත වන ආකාරයෙන් වන අතර රජයේ මුදල්වලින් එහි එක් මහලක් පමණක් ඉදිකර තිබේ. මුදල් නොමැතිකම නිසා ඉතිරි මහල් හතර සම්පූර්ණ කරගැනීමට නොහැකිව සිටියදී ශ්‍රී ලාංකික දානපතියකු මෙහි දෙවැනි මහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක පමණ ධන පරිත්‍යාගයක් සිදුකිරීමට ඉදිරිපත්ව ඇත.

වර්ග අඩි 10,000 ක් පමණ වන මෙම මහල ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබාදීමට නාවික හමුදාව ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව පසුගිය රජය සමයේ මෙහි වැඩ ආරම්භ කර පවත්වාගෙන ගොස් ඇත. එහෙත් 2025 මාර්තු 20 වනදා හදිසියේම ආරක්ෂක අමාත්‍යාංශය මෙහි ඉදිකිරීම් කටයුතුවල නිරත වෙමින් සිටි නාවික හමුදා සාමාජිකයින්ට ආපහු කඳවුරට වාර්තා කරන ලෙස නියෝග කර ඇත්තේ මෙම ඉදිකිරීම සඳහා රජයේ අනුමැතිය ලැබී නොමැති බව පවසමිනි. මේ ආකාරයට නාවික හමුදා සෙබළුන් 60 දෙනෙකු පමණ වූ පිරිස ආපසු කඳවුරට ගෙන්වා ගෙන ඇත.

ඒ අනුව එදින සිට මේ දක්වා මාසයකුත් දින හතක කාලයක් අදාළ ගොඩනැගිල්ලේ වැඩ සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය යන සියලු පාර්ශ්වවලට දැනුම් දී ඇතත් අදටත් එහි වැඩ නැවත ආරම්භ වී නොමැති බව සඳහන්.

මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හදිසියේ නැවැත්වූ මොහොත වනවිට එහි කොන්ක්‍රීට් තට්ටුව දැමීම සඳහා සැටලිම සකස් කර තිබී ඇති අතර මේ වනවිට එය අව්වට සහ වැස්සට හසුවීමෙන් ඇඹරී හානිවෙමින් පවතින බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය. එසේම මෙම කාර්යයේ යෙදී සිටියදී එය නවත්වා ආපසු කඳවුරට ගෙන්වා ගත් නාවික හමුදා සෙබළුන් 60 දෙනෙකු පමණ පිරිස වෙනත් කාර්යයකට ද යොදවා නොමැති අතර ඔවුන් ද කඳවුරට වී සිටින බවත් ආරංචිමාර්ග පැවසීය.

එහෙයින් කවුරුන් හෝ බලධාරියෙකු මැදිහත් වී මෙම ප්‍රශ්නයට විසඳුමක් කඩිනමින් ලබාදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන්නේ නම් දැනට නිරපරාදේ දැවමය සැටලිමට සිදුවන හානිය ද නවතිනු ඇති අතර ඉක්මනින්ම රෝගීන් දහස් ගණනකට වඩාත් හොඳින් ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාව ද හිමිවනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...