කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම සඳහන් කරන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය බවයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම විමර්ශන කටයුතු සිදු කරගෙන බවයි දැක්වෙන්නේ.
එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,ඔහුගේ බිරිඳ සහ දියණිය මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කරන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
