මුහුදෙන් ගොඩබිමට මාරු වූ ඇමරිකා-ඉරාන ගැටුම..

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:

මැදපෙරදිග කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුධමය සහ දේශපාලනික උණුසුම මේ වන විට මුහුදේ නාවික අවහිරතාවලින් ඔබ්බට ගොස් ගොඩබිම් සැපයුම් මාර්ග අක්‍රිය කිරීමේ සංකීර්ණ මෙහෙයුම් දක්වා ව්‍යාප්ත වෙමින් පවතී.

“ටාස්ක් ෆෝස් අයන් ගේට්” (Task Force Iron Gate) – මුහුදෙන් ගොඩබිමට සහ කැස්පියන් මුහුදට සීමා පුළුල් කිරීම”

ඇමරිකානු මධ්‍යම විධානය විසින් ෆ්ලොරිඩාවේ ටැම්පා හි මූලස්ථානය පිහිටුවමින් “ටාස්ක් ෆෝස් අයන් ගේට්” නමැති විශේෂ බළකාය ස්ථාපිත කර ඇත. මෙම විශේෂ බළකායේ ප්‍රධාන අරමුණ වන්නේ ඉරානය විසින් ගොඩබිම් මාර්ග සහ කැස්පියන් මුහුද භාවිත කරමින් උසස් ආයුධ පද්ධති, ද්විත්ව භාවිත තාක්ෂණයන් , සම්බාධක පනවා ඇති ද්‍රව්‍ය, බලශක්ති ප්‍රවාහනය සහ නීතිවිරෝධී ආදායම් මාර්ග පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම අක්‍රිය කිරීමයි.

මෙම අලුත් මෙහෙයුම පිළිබඳව අදහස් දක්වමින් ඇමරිකානු මධ්‍යම විධානයේ අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් (Admiral Brad Cooper) සඳහන් කළේය.

“ටාස්ක් ෆෝස් අයන් ගේට් මෙහෙයුම මගින් මුහුදේදී ඉරානයට එරෙහිව අප ක්‍රියාත්මක කළ නොසැලෙන නාවික අවහිරතාවයේ සාර්ථකත්වය තවදුරටත් සනාථ කරනු ඇත.”

මෙතෙක් හෝමුස් සමුද්‍ර සන්ධියට සහ පර්සියානු ගල්ෆ් කලාපයේ වරායවලට පමණක් සීමා වී තිබූ නාවික අවහිරතාවන්, ඉරානයේ ගොඩබිම් මායිම් සහ කැස්පියන් මුහුද දක්වා ව්‍යාප්ත කිරීම විශේෂිත උපායමාර්ගික පියවරකි. පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින නාවික බලඇණිවලට ළඟා විය නොහැකි ඉරානයේ උතුරු මායිම හරහා මධ්‍යම ආසියාවට සහ රුසියාවට විවෘත වන වෙළඳ සහ සැපයුම් මාර්ග අහිර කිරීම මගින් ඉරානය සම්පූර්ණ භෞතික සහ උපායමාර්ගික වටලෑමකට (strategic encirclement) ලක්කිරීම මෙහි යටි අරමුණයි.

මෙම ගොඩබිම් සහ කැස්පියන් මුහුදු මාර්ග පාලනය කරමින් ඉරානයේ ජාලයන් අක්‍රිය කිරීම, ඉදිරියේදී එල්ල විය හැකි පුළුල් ආර්ථික යටිතල පහසුකම් ඉලක්ක කරගත් මෙහෙයුම් සඳහා අවශ්‍ය මූලික මෙහෙයුම් පදනම සකස් කරයි.

මිලිටරි ඉලක්කවල සිට ආර්ථික සහ යටිතල පහසුකම් ඉලක්ක වෙත මාරුවීම

මැදපෙරදිග කලාපය පිළිබඳ හිටපු ඇමරිකානු නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් මයිකල් මුල්රෝයි (Michael Mulroy) පෙන්වා දෙන්නේ ටාස්ක් ෆෝස් අයන් ගේට්හි මූලික කාර්යභාරය වන්නේ ඉරානයට ආයුධ පද්ධති ඇතුළු වන්නේ කෙසේද, ඒවා අක්‍රිය කරන්නේ කෙසේද සහ ඉරානය සිය බලශක්තිය ප්‍රවාහනය කරන්නේ කෙසේද යන්න සෙවීම බවයි.

පෙර පැවැති “ඔපරේෂන් එපික් ෆියුරි” මෙහෙයුම ප්‍රධාන වශයෙන් හමුදාමය ඉලක්ක වෙත යොමුව තිබුණි. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුද්ධයේ ඉදිරි පියවරයන් නියෝග කළහොත්, මීළඟ ඉලක්ක ලැයිස්තුව ඉරානයේ ආර්ථික සහ යටිතල පහසුකම් වෙත එල්ල වීමට වැඩි ඉඩක් පවතී.

මයිකල් මුල්රෝයි ප්‍රකාශ කළ පරිදි…

“ප්‍රධාන වශයෙන් මිලිටරි ඉලක්ක කෙරෙහි අවධානය යොමු කළ ඔපරේෂන් එපික් ෆියුරි මෙන් නොව, මෙම ඉලක්ක ආර්ථික සහ යටිතල පහසුකම් ඉලක්ක වෙත යොමු වනු ඇතැයි මම සිතනවා. එය පාලන තන්ත්‍රයට සටන් කිරීමට සහ තමන්ටම අරමුදල් සපයා ගැනීමට ඇති හැකියාව අහිමි කිරීමේ පුළුල් සැලැස්මක කොටසක්.”

සතුරු පාර්ශවයක හමුදාමය කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමට අමතරව, ඔවුන්ගේ ආර්ථික ජීවන මාර්ග, අරමුදල් උපයන ක්‍රම සහ බලශක්ති ප්‍රවාහන ජාලයන් අක්‍රිය කිරීම නූතන වටලෑමේ උපායමාර්ගවල ප්‍රධාන මෙවලමක් බවට පත්වී ඇත.

නාවික අවහිරතා බලාත්මක කිරීම – “M/V Huda” නෞකාව අක්‍රිය කිරීම සහ වෙළඳ නැව් පාලනය

ඇමරිකානු CENTCOM බලකාය විසින් ඕමාන් ගල්ෆ් (Gulf of Oman) කලාපයේදී තමන් පනවා ඇති නාවික අවහිරතා (naval blockade) නීති සක්‍රීයව බලාත්මක කරමින් සිටී. මෙහි මෑතම පියවරක් ලෙස, සෙන්ට් කිට්ස් (St. Kitts) රාජ්‍යයේ ධජය යටතේ ගමන් කළ “M/V Huda” නමැති වාණිජ භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඇමරිකානු හමුදා ගුවන්නෞකාවක් මගින් නිරවද්‍ය පූර්ව-ඉලක්කගත පතොරම් (precision munitions) ප්‍රහාරයක් එල්ල කර අක්‍රිය කරන ලදී. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ නෞකාවේ පසුපස කොටසට (stern) වන අතර, ඊට පෙර නැවේ කාර්ය මණ්ඩලයට අදාළ ඉලක්කගත ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස් දී තිබුණි.

නැවත හරවා යැවූ නෞකා-: ජූලි මාසයේ සිට මේ දක්වා නීතිවලට අනුකූල වූ වාණිජ නෞකා 147ක් වෙනත් මාර්ග වෙත හරවා යවා ඇත.

  • අක්‍රිය කළ නෞකා:- ඇමරිකානු නාවික නියෝග ප්‍රතික්ෂේප කළ සහ අනුකූල නොවූ නෞකා 5ක් හමුදාමය බලය යොදවා අක්‍රිය කර ඇත.

නෞකාවේ පසුපස කොටසට පමණක් ප්‍රහාර එල්ල කර එය අක්‍රිය කිරීම මගින් පෙනී යන්නේ නාවික ගමනාගමනය පාලනය කිරීම සඳහා ඇමරිකානු හමුදාව සෘජු, පූර්ණ නිරවද්‍යතාවයෙන් යුත් දැඩි හමුදාමය බලයක් යොදවන බවයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ පිපිරීම් සහ මුහුදු බෝම්බ (Mines) තර්ජනය

ගොඩබිම් සහ නාවික සීමාවන්හි ගැටුම් උග්‍ර වෙද්දී, හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයන් හි විශාල පිපිරීම් වාර්තා වී ඇත. ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) වාර්තා කළ පරිදි ක්වෙෂ්ම් දූපතේ (Qeshm Island) පිපිරීම් දෙකක් සහ ජාස්ක් (Jask), සිරීක් (Sirik) හා බන්ධර් අබ්බාස් (Bandar Abbas) යන නගරවල පිපිරීම් කිහිපයක් සිදුවී තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්වෙෂ්ම් දූපතට එල්ල වූ ප්‍රහාර “සුළු ප්‍රහාර” ලෙස හඳුන්වමින් ඒවා තහවුරු කළ අතර, “මෙය යුද්ධයක් නොවන බව” (it’s not a war) අවධාරණය කළේය. එමෙන්ම කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් පැවැත්වෙන සාකච්ඡා තවදුරටත් සිදුවන බවත් ඉරානය තවමත් එකඟතාවයකට පැමිණීමට කැමැත්තෙන් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාවට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නැව් දෙකක් මුහුදු බෝම්බවල (sea mines) ගැටීමෙන් බරපතල හානි සිදුවී නතර වී ඇත.

  • අදාළ තෙල් නැව් දෙක ආරක්ෂිත නොවන කලාපයක් හරහා තමන්ගේ නාවික පද්ධති (navigation systems) අක්‍රිය කරමින් ගමන් කර ඇති අතර, එහිදී මුහුදු බෝම්බවල ගැටීමෙන් අක්‍රිය වී තිබේ.

එක් පසෙකින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ “මෙය යුද්ධයක් නොවේ” යන ප්‍රකාශ නිකුත් වෙද්දී, අනෙක් පසින් ප්‍රධාන නාවික මාර්ග මුහුදු බෝම්බ පිරුණු අනතුරුදායක කලාප බවට පත්වීම මගින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශ සහ භූමියේ සිදුවන භෞතික යුධමය යථාර්ථය අතර පවතින දැඩි පරස්පරතාවයි.

ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම දැන් නාවික අවහිරතාවයකින් ඔබ්බට ගොස් ගොඩබිම්, මුහුද, කැස්පියන් කලාපය සහ යටිතල පහසුකම් ආවරණය වන පරිදි බහු-මානීය (multi-domain) ආර්ථික සහ තාක්ෂණික වටලෑමක් බවට පත්ව ඇත. "ටාස්ක් ෆෝස් අයන් ගේට්" හරහා ඉරානයේ ආදායම් මාර්ග සහ ආයුධ සැපයුම් ජාලයන් පද්ධතිමය ලෙස අක්‍රිය කිරීමට පියවර ගනිමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද ආණ්ඩුවේ සූදානම? බොරු සාක්ෂි හදලා හරි විපක්ෂය මර්දනය කරන්නද හදන්නෙ? නාමල් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: තිබ්බ බදු ප්‍රමාණයටත් වඩා...

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රු.බි.35.6ක පාඩුවක් ලැබූවේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: 2008 වසරේදී රුපියල් බිලියන...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක්...

මේ අයවැයෙන් PAYE බද්ද අයකිරීමේ සීමාව ඉහළ දමා සහනයක් දෙනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් උපයනවිට ගෙවීමේ බද්ද (PAYE...