මේ ගැන කාලාන්තරයක් තිස්සෙ ලියන්න හිතා හිටියත් ලිව්වෙ නෑ. මොකද ආපිටට හිතෙන්න පුළුවන් උඹලට නැති නිසා උඹලා අපිට ඊර්ෂ්‍යා කරනවා කියලා. එහෙත් ඊයේ දවස ඇතුළත කන වැකුණ ඛේදනීය සිදුවීමක් නිසා මේක ලියන්නම ඕනෙ කියලා හිතුවා.
මේ ගෙවල් තියෙන්නෙ ඉතාලියෙ නොවෙයි. ලංකාවේ. ඒවා ඇත්තටම ගෙවල් නොවෙයි. පොඩි මන්දිර වගේ ඒවා. ලංකාවේ සැප පහසු නැති දුක්බර ජීවිත ගොඩ දාගන්න අපේ මිනිස්සු ඉතාලිය ඇතුළු රටවල් ගණනාවක සේවයට යනවා. ගිහින් හරිහම්බ කරගන්න විඳින දුක දන්නෙ ඒ අයම තමා. හිනා වෙලා සැපෙන් ඉන්න ෆොටෝ සමාජ මාධ්‍යයට දැම්මට ඒ අය එහෙ ඉඳන් කන කට්ට දන්නෙ එයාලම තමා.
ටික කලක් ඉතාලියෙ හරි කොහේ හරි රටක ඉඳලා දුක්මහන්සි වෙලා හරිහම්බ කරගන්න සල්ලි ටිකත් අරන් ඇවිත් ලංකාවේ තට්ටු දෙකක විශාල ගෙයක් හදන්න ගන්නවා. මැදක් යනකොට බැංකු ණය ගන්නවා. මොකද අපි ඒ ගෙවල් හදන්නෙ අපට ජීවත් වෙන්න නොවෙයි. සිහින ලෝකෙ තිබුණ නැත්නම් ඉතාලියෙ වගේ ගෙයක් හදන්න. වදෙන් පොරෙන් ගේ හදනවා. සතේටම හිඳෙනවා. ආයෙ රට යනවා. ආයෙ එනවා. සමහරු එන ටිකට වාහනයක් රෙන්ට් කරනවා. සමහරු හොඳම වාහනයක් ගන්නවා. සමහරු යද්දි ඒක විකුණලා යනවා. එහෙම කරන එක හොඳයි. මොකද නැත්නම් ඒවා රකින්න වෙන්නෙ මෙහෙ ඉන්න මිනිස්සුන්ට ජීවිත පරදුවට තබලා.
විදෙස්ගත අපේ ප්‍රජාව ලංකාවට කරන්නෙ සුළුපටු සේවයක් නොවේ. ඒ විදේශ විනිමය රටට හයියක්. ඒත් තමන් දුක් විඳලා හොයන සල්ලි වියදම් කරන්නෙ කොහොමද? මොකටද කියලා කල්පනා කරන්න ඕනෙ.
මෙහෙ ඉන්න දරුවො සේරම වගේ සල්ලි හොයන්න රට යන්න හිතා ඉන්නවා. ඒ යන කාටවත් මම එපා කියන්නෙ නෑ. ඒත් මම එක දෙයක් කියනවා. අඩුම තරමේ උසස් පෙළවත් සමත් වෙලා යමල්ලා දරුවනේ. තමන් උපයන සල්ලි කළමනාකරණය කරන්නෙ කොහොමද කියලා හිතන්න පුළුවන් බුද්ධියක් නැත්නම් ඒ හොයන සල්ලි විනාශ වෙලා පවුල් ජීවිතත් විනාශ වෙලා යනවා.
පුංචි ඉතාලිය යනුවෙන් නම් පටබැඳෙන තරමට රට ගියාට වැඩක් නෑ, උපයන සල්ලි වලට මොකද කරන්නෙ කියලාවත් දන්නෙ නැත්නම්.
අනික, රටවල් දෙකේම කකුල් තබා ගැනීම තව විනාසයක්. ඒ රටෙයි මේ රටෙයි පවුල සී සීකඩ කරගන්න එපා. එක්කෝ තමන් ඉන්න රටකට තමන්ගේ දරුපවුල ගන්න. නැත්නම් ඉක්මනින් තමන්ගෙ පවුලට එකතු වෙන්න. අන්තිමේදී සල්ලි විතරයි. පවුලුත් විනාශයි.
දැනට හදලා තියෙන ගෙවල් අඩුම තරමේ කුලියටවත් දෙන්න. තනි මිනිස්සුන්ව ඒ ගෙවල්වල ආරක්ෂාවට නතර කළාට ඔබේ දේපළ තබා ඔවුන්ගේ ජීවිතවත් රැකගන්න ඒ අයට බෑ. මොකද හොරු එන්නෙ හොරකමට මිස අල්ලාපසල්ලාපයේ ඉදලා යන්න නොවේ. ඒ නිසා හොරු අනෙකාගේ ජීවිත ගැන තැකීමක් කරන්නෙ නෑ.
මේ කුඩා මන්දිර පාළු අම්බලම් වගේ. පාළු ගෙයි වළං බිඳින්න කාගෙන් අවසරද?
ඒ නිසා තමන්ට සෑහෙන ගෙයක් හදාගන්න. ආපහු ලංකාවේ පදිංචියට එන්නෙ නැත්නම් අපරාදෙ වැලි, ගඩොල්වලට, දුක් විඳලා හම්බ කරන සියල්ල යට කරන්න එපා. ඒ වගේම ඒ ගෙවල්වල හොරු ළඟින පාළු අම්බලම් කරන්නත් එපා.
තීරණය කරන්න. වෙන රටකට ගිහින් අවුරුද්දක් දෙකක් යද්දි තීරණය කරන්න, ඉන්නෙ කොයි රටේද කියලා. අවුරුදු කීපයකට පසුව විවේකයකට එනවා නම් ඥාති ගෙදරක හරි හෝටලයක හරි නවාතැන් ගන්න.
නැත්නම් ඔබ උපයන දේ කැලෑවට හා හොරුන්ට යනවා.
ඒ වගේම ඒ ගෙවල් රකින අය, හොරු අතින් මියපරලොව යනවා. එහෙම ගෙදරක ඔබට නැවත ජීවත් වෙන්න හිත දෙන්නෙත් නැතිව යනවා. වෙන අයකු ඒ ගෙවල් මිලදී ගන්නත් අදිමදි කරනවා.
ප්‍රධානම දේ අපේ රටට ඒ කියන්නෙ පැවතුණ හා පවතින කිසිම ආණ්ඩුවකට තම විදෙස් බළකායේ ජීවිත සම්බන්ධයෙන් කිසිම සැලසුමක් නැති වීමයි. අඩුම තරමේ යන පිරිස් සිය අනාගතය පිළිබඳ දැනුවත් කිරීමකින් පසුව යවන්නවත් කිසිම ආණ්ඩුවකට නිසි සැලසුමක් නෑ. රටවිරුවන් කියලා බෝඩ් ගැහුවට මදි. ඒ ජීවිත හරි මග ගෙන යන්නත් ආණ්ඩුවකට වගකීමක් තියෙනවා.
මේ සටහන ලියන්න හේතු වුණේ එවැනි ගෙයක් මුර කළ සහෝදරයකු හොරු අතින් ජීවිතක්ෂයට පත් වුණ බව දැනගත් පසුවයි.
ඔබ හදන නිවෙසේ සැලසුම ඔබේ අයිතියක්. ඒකට අපට උපදෙස් දෙන්න බෑ තමයි. ඒත් හම්බ කරන සියල්ල ගෙට යට කර ඒවා පාළු අම්බලන් බවට පත්කිරීම ගැනත් ඒ යට ඇති ඛේදවාචක ගැනත් ඔබ අවදි වෙන්න. ඉස්සර ගෙවල් හැදුවෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට. දැන් ගෙවල්වල ආරක්ෂාවට මිනිස්සු තියන්න වෙලා. කාලය ඇති කර තිබෙන වෙනස්කම් !
~ සුමේධා නවරත්න
