*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

ජනමතය තඹ සතයකට නොතකන බව අදත් ඔප්පු කළ පොහොට්ටුව …

අද (17) දිනයේදී පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම් දෙකක් පැවැත්වුණා. එයින් පළමු එක නියෝජ්‍ය කථානායක පත්කර ගැනීමට. දෙවැන්න ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා විවාදයට ගැනීමට. පළමු ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 109ක් ලබාගනිමින් ජයග්‍රහණය කළා. දෙවැන්නේදී ඡන්ද 119ක් ලබාගනිමින් ජයග්‍රහණය කළා.

පක්ෂයක් හැටියට පොහොට්ටුව අද වනවිට සමාජය තුළ ඉන්නේ දැවැන්ත පසුබෑමක. පසුගිය මැයි 09 වෙනිදා ඒක හොඳටම ඔප්පු වුණා. ඇත්තෙන්ම වසර දෙකහමාරක් තිස්සේ ඔවුන් ආණ්ඩු කරමින් රටේ ජනතාව කොයි තරම් පීඩාවකට පත් කළාද, ඔවුන් කොයි තරම් ජනමතය නොසලකා හැරියාද, ඔවුන් කොයි තරම් බලයෙන් මත්ව ජනතාව ඉදිරියේ උද්දච්ඡ විදියට හැසිරුණාද, ඔවුන් කොයි තරම් ජනතාව විහිළුවකට ගත්තාද කියන ඒවාට තමයි එදා ජනතාවගෙන් පිළිතුරු හම්බුණේ.

පොහොට්ටුව ගෝල්ෆේස් අරගලයට එරෙහිව මුදා හැරපු ප්‍රචණ්ඩත්වය පාරාවළල්ලක් වෙලා ඔවුන්ටම ඊට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ ප්‍රහාරයට එරෙහිව රටපුරා ප්‍රතිප්‍රහාර එල්ල වුණු ආකාරය අපිත් අනුමත කරන්නේ නෑ, ඒත් ඒක ජනතාව ස්වයංව ගත්තු තීරණයක්. කවුරුවත් ගිහින් ජනතාව පෙළඹෙව්වේ නෑ. ජනතාව තමයි පොහොට්ටු මැති ඇමතිවරුන්ගේ නිවාස, කාර්යාල හොයාගෙන ගිහින් උත්තරේ දුන්නේ.

ඇත්තෙන්ම ඒ සිදුවීමෙන් පස්සේ බොහෝ පොහොට්ටු මැති ඇමතිවරු තමන්ගෙ අධි සුඛෝපභෝගී වාහනවල ගමන් බිමන් ගියේ නෑ. තමන්ගෙ ගෙවල්වල හිටියේ නෑ. සමහරු හැංගිච්චි තැන්වලින් මේ වනතෙක්ම එළියට ඇවිල්ලා නෑ. ඒ කියන්නෙ එළියේ සමාජය තුළ තමන්ට තියෙන්නෙ මොන වගේ තැනක්ද කියන එක ඔවුන් හොඳාකාරවම දන්නවා.

ඒත් ඔවුන් අද පාර්ලිමේන්තු ආපු ගමන් ආපහු සුපුරුදු උද්දච්ඡ හැසිරීම පටන් ගත්තා. මොකද ඔවුන් දන්නවා ඔවුන්ට ඡන්දය දීලා ජනතාව 2020 වසරේදී කරපු වරද මේ පාර්ලිමේන්තුව ඇතුළේ නිවැරදි කරන්න බෑ කියලා. එළියේ මතය මොකක් වුණත් ඔවුන්ට ඒක වැඩක් නෑ පාර්ලිමේන්තුව ඇතුළේදී. පාර්ලිමේන්තුව ඇතුළේ ඕනෑවටත් වඩා බහුතර බලයක් ඔවුන්ට තියෙනවා. අන්න ඒ නිසාම එළියේ වුණු සියල්ලටම පාර්ලිමේන්තුවේදී වාඩුව ගන්න තමන් සූදානම් කියන එක තමයි අද ඔවුන් ඔප්පු කළේ.

නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ඉදිරිපත් කරලා තිබුණේ කාන්තාවක්. ඇයගේ සුදුසුකම් ගැන කාටවත් ප්‍රශ්නයක් තිබුණේ නෑ. අනික ජාතික එකඟතා ආණ්ඩුවක් බිහිකිරීම සම්බන්ධයෙන් යෝජනාවකුත් ඉදිරිපත් වෙලා තියෙන එකේ විපක්ෂයේ අපේක්ෂිකාවට නිතරගයෙන් එම තනතුරට පත්වෙන්න ඉඩදීලා පියවරක් පසුපසට ගන්න පොහොට්ටුවට ඕනෙ තරම් ඉඩ තිබුණා අද උදේ වෙනකොටත්. නමුත් ඔවුන් ඒක කළේ නෑ. ඔවුන් ඊට ප්‍රතිපක්ෂව කළේ රාජපක්ෂ නමම තියෙන තමන්ගේ අපේක්ෂකයෙන් වැඩි ඡන්දයෙන් දිනවලා ජනතාවට තමන්ගෙ ආඩම්බරකම පෙන්නපු එකයි.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව ගැනත් කාරණය එච්චරම තමයි. රටේ ජනමතය සම්පූර්ණයෙන්ම පාහේ තියෙන්නෙ ජනාධිපතිවරයාට විරුද්ධව බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. පොහොට්ටු පක්ෂය තුළම පවා ජනාධිපතිවරයාට එරෙහිව විරෝධයක් තියෙනවා. ඔය යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තා කියලා ඒකෙන් ජනාධිපතිවරයාව ඉවත් කරන්නත් බැහැ තමයි. නමුත් ජනතාවගේ මතය පාර්ලිමේන්තුව තුළ යම් ආකාරයකින් හෝ කියැවෙන්න අවස්ථාවක් ලැබෙන්න තිබුණා. පොහොට්ටුව කළේ බොහෝම උද්දච්ඡ විදියට ඒ අවස්ථාව ඇහිරීමයි.

ඊට අමතරව අද දවසේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම අනුව පෙනෙන්නේ ඔවුන්ගේ දැන් එකම අරමුණ ඔය තියන පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා තමන්ට වුණු දේපළ හානිය වෙනුවෙන් මහජනතාවගේ මුදලින් අතිවිශාල වන්දියක් ලබාගන්න එකයි කියන එක. ඉතින් ජනතාවට හෙණ ගැහිලා ගියත් ඔවුන් හෙට දවසේ ඒක කරගනීවි. ඔවුන්ට තවදුරටත් ජනතාවගෙන් සත පහක වැඩක් නැතිය, ඔවුන් ජනමතය කියන එක තඹ සතයකට තකන්නේ නැතිය කියන දේ තමයි මින් ඉදිරියට ඔවුන් දිනපතාම පාර්ලිමේන්තුව තුළ ඔප්පු කරනවා ඇත්තේ.

  • දර්ශන වීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan