වෙල්පල්ලෙ සැරසිල්ල – නෙත්මිව දිනන්න පුළුවන් වෙන්න රකින්න

Date:

නිශ්මං රණසිංහ ජුනි 21, කොළඹ LNW:

රටක් නියෝජනය කරන්න එකම පාසලක එකම පංතියක පොකුරක් ඉන්නව කියන එක ටිකක් අමුතුයි.එකම ක්‍රීඩාවක විවිධ ඉසව් හැටියට බර අනුව බෙදෙන ක්‍රීඩාවක නෙත්මි,නිපුනි සහ චමෝධ්‍යා අතරින් චමෝධ්‍යා සහ නෙත්මි එකම පංතියෙ.ඒ පාසලේම එයාලට වඩා පහළ පංතියක නිපුනි.


මේ අය දැන් කාලයක ඉදලා ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉසව්ව තමයි මල්ලවපොර ඉසව්ව.ඒ අතරින් නෙත්මි ජාත්‍යන්තර වශයෙන් ලංකාවට පදක්කම් රැගෙන ආපු ක්‍රීඩිකාව.නෙත්මි වියට්නාමයෙදි යළිත් ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගන්න සමත් වන්නෙ කිලෝග්‍රෑම් 57 බර පංතියෙන්.ඒක රන් හෝ රිදී නොවන බාධකය වැටෙන්නෙ අවසන් පූර්ව තරගයෙදි.ඇයගෙ ප්‍රතිවාදිනිය වන ඉසව්වේ රන් පදක්කම ගත්ත උතුරු කොරියාවෙ ජින් ජු ඇන් සමඟ අවසාන පූර්ව තරගයෙදි නෙත්මි හොඳ සටනක් දෙනවා.ලකුණු තත්ත්වය වෙන්නෙ 4-3 ක්.
අවසාන තරගයෙදි ජින් ට හමුවන ඉන්දියාවේ නේහා ෂර්මා ඇය ඉදිරියේ පරාජය වන්නේ 8-4 ක් විදිහට.නිලුෆර්ටම 10 – 0 ක විදිහට පරාජය වුණ කසකස්තානයේ නිලුෆර් රායිමෝවා නෙත්මිට පරාජය වන්නෙ 12 – 4 ක් විදිහට.ඒ නිසා චිත්‍රය වෙන විදිහකට බැලුවම ජින් ට මේ ඉසව්වෙ හිටිය අභියෝගය නෙත්මි කියන එක පැහැදිළියි.


හැබැයි නෙත්මිට ජින්ව පරද්දන්න පුළුවන් වෙන්න ඕනි.නෙත්මි මීට ඉස්සර දිනපු,ඒ වගේම ලබපු පුහුණුවීම් එක්ක ඒ දේ බැරි වෙන්නෙ ඇයි කියන තැනට අපට ඒ සඳහා එන්න වෙනවා.ඒ සියල්ල ලබාගෙන ආපහු නෙත්මි එන්නෙ වෙල්පල්ලට.සුරංග තමන්ගෙ ගේ ළඟම ඒ ඉඩමෙම තමන්ගෙ ගේ හදා ගන්න එක පැත්තක තියලා හදා ගත්ත පුහුණුවීම් ශාලාවට.ඒකෙ විකල්ප ලෙස හොයා ගත්ත උපකරණ එක්ක හැප්පෙමින් තමයි නෙත්මිට මේ වැඩේ කරගන්න වෙන්නෙ.දැන් නෙත්මි ගෝටාභය.රනිල් සහ මේ වන විට අනුර කරවන ආණුඩු තුන යටතෙම ලංකාවට පදක්කම් ගෙනත් දීලා තියෙනවා.මොනවද වෙලා තියෙන්නෙ?


නාමල් සහ රොෂාන් රණ්ඩු වුණ බව මතකයි නෙත්මි ඉස්සෙල්ලම තමන් ළඟට ගෙන්න ගන්න.ගොඩක් දේශපාලනඥයො හැබැයි නෙත්මිගෙ ගෙදරට ආවා.එයාලගෙ පිංතූර එක්ක විස්තරත් පත්තරවල ගියා.නෙත්මිලගෙ ප්‍රශ්නවලට ස්ථීර විසඳුමක් නැහැ.සුරංගගෙ මේ අට්ටාලමය හැඩය ගත්තු දුප්පත් පුහුණු මධ්‍යස්ථානයෙ තුන් දෙනෙක්ම මේ තරගාවලයෙදිම තරග වැදුණා.නිපුනි අන්තිම හතරට ආවා.
මේ සංචාරය යන්න ක්‍රීඩා අමාත්‍යංශයට නෙත්මිලා වෙනුවෙන් වැය කරන්න මුදල් තිබිලත් නැති බවයි ආරංචිය.මල්ලවපොර සංගමයෙ සභාපති තමන්ගෙ අතින් වියදම් කරලා තමයි නෙත්මි අතින් වියට්නාමයේදි සිංහ කොඩිය ඉහළට ඉස්සුවෙ.දැන් මේවා කතා නොකරට නෙත්මි එන වෙලාවට ක්‍රීඩා අමාත්‍යංශයෙ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් මලු පොකුරුත් අරගෙන නෙත්මිව පිළිගන්න ඇවිත් පත්තරවල,රූපවාහිනි තිර මත නෙත්මිගෙ මේ පදක්කමට තමනුත් මාර දෙයක් කළා වගේ පඩික්කම් හිනාවල් දාගෙන පෙනී සිටියි.


ඒ නිසා ගුවන් තොටුපළට එන්න එපා.පුළුවන්නම් ඇමති එක්ක හරි නියෝජ්‍ය ඇමති එක්ක හරි තමන්ට දෙන්න බැරි වුණ ගුවන් ටිකට්පත්වල සල්ලිවත් අරගෙන නෙත්මිලගෙ ගෙදර යන්න.සාමාන්‍යයෙන් ක්‍රීඩා අමාත්‍යවරයානම් හිතාගෙන ඉන්නෙ එයා පිටට යන්න හොඳ නැහැ,තමන් පාලකයා හැටියට අනිත් අය තමන්ගෙ දෙපතුළ ළඟට ගෙන්නගෙන ප්‍රශ්න කතා කරන්න ඕනි කියලා.ඒත් ඉතිං නෙත්මිලගෙ අපහසුකම් ගැන තේරුම් ගන්නනම් ඇමතිවරයා එහාට යන්න වෙනවා.සුරංගගෙ ගේ,පුහුණුවීම් කරන තැන වගෙ ලොකු පිංතූරයකින් මේ මිනිස්සු දරන මහන්සිය,වෙහෙස,කැපවීම වගේම අපි ඇමතිවරු විදිහට මේ පුටු රත් කර කර දෙන මාර ටෝක් කොච්චර බොරු ද කියලා තේරෙන්නෙ එතනට ගියොත් විතරයි.ඒවා අවබෝධ කර ගන්න සුරංගට මුළු ඉඩමම චමෝධ්‍යාලට තියෙන කැන්ටර් එකේ දාගෙන කොළඹ අරගෙන එන්නත් බැහැ.
ජනාධිපතිවරයත් මේ ක්‍රීඩාවෙ තීරණ ගන්න සම්බන්ධයි.සමහර වගකීම් දරන අය එන්නෙ ඒ පැත්තෙන්.ඒ අය ගැන විවේචන කරාම සමහර විට ඇමති අහක බලාගෙන ඒ පත්කරපු අයගෙන්ම උපදෙස් ගන්නෙත් ලොකු සහෝදරයා කිව්වොත් ඒක තමයි වැඩේ කියලා හිතලා වෙන්න ඕනි.ඒ නිසා තමන්ගෙ තේරීම් ක්‍රීඩාවට කොහොමද බලාපන්නෙ කියලා බලාගන්න ජනාධිපතිවරයට වුණත් ගමේ යනවනම් පොඩි දුරක් වැඩි කරගෙන වෙල්පල්ලට ගිහිං යන්න පුළුවන්.මාස හත අටක් ගෙවිලා මෙහෙම ලංකාවට පදක්කම් ගේන ක්‍රීඩිකාවකට,පුහුණුකරුවෙකුට අපේ ජනතාවාදී ආණ්ඩුව සළකලා තියෙන්නෙත් මෙහෙමයි කියලා බලාගන්න පුළුවන්.


නෙත්මි රත්තරන් කෙල්ලෙක්.වෙල්පල්ල මලල ක්‍රීඩාවෙ ඇත්නාවල වගෙ ගමක් මල්ලව පොර ක්‍රීඩාවට.සුරංග මේ කරලා තියෙන වැඩේ තමන්ගේ ජීවිතය මල්ලවපොර ක්‍රීඩාවට දිය කිරීම කොහොමද තේරුම් ගන්න ඕනි.පුළුවන්නම් ක්‍රීඩා ඇමතිතුමා එක්කම නියෝජ්‍ය ඇමතිවරයටත් මේ ගමන යන්න පුළුවන්.මේ පුහුණු මධ්‍යස්ථානයෙ සුරංගලට අඩු උපකරණ ගැන ඒවා පියවගන්න ආකාරය ගැන කතා කරන්න අවශ්‍යය දැණුම තියෙන නිලධාරීන් අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධයි.ඒ අයත් අරගෙන විසිට් එකක් යනවනම් ගොඩක් දේවල් එතන ඉදළම සැළසුම් කරගෙන එන්න පුළුවන්.
ඔලිම්පික් පදක්කමකට යන්න පුළුවන් බව ඉවෙන් දැනෙන ලොකු අනාගතයක් තියෙන පුංචි කෙල්ලෙක් දැක්කම ඒ රටේ ක්‍රීඩා අමාත්‍යංශයක් පදක්කමක් ගේන්න යන සංචාරයකට සල්ලි නැහැ කියනවනම්,නෙත්මිලා වගේ රත්තරන් වටින කෙල්ලො මේ රටේ ඉපදුනේ අපරාධයකට.
මේ පහතින් තියෙන වීඩියෝව නෙත්මි මල්ලවපොර ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම අරගෙන ආපු වෙලාවෙ කරපු වැඩ සටහනක්.ඒකෙ තියෙන විදිහටම ගොඩක් ප්‍රශ්න නෙත්මිලගෙ තවම ඉතුරුයි.මේ දේවල් පෞද්ගලික අංශය සමඟ කතා කරලා විසඳගන්න පුළුවන් දේවල.උදාහරණයකට ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කරපු සම්මාන රාත්‍රියට ගිහිං අමාත්‍යවරයා මහා විශාල කතා කියලා එන ගමන් කුඩාවට හරි එහි අනුග්‍රාහකයන් සමඟ කතා කරානම් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරලා සුරංගලගෙ පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම කරලා දෙන්න බැරිද?ව්‍යායාම උපකරණ ටික ඒ විදිහට අඩුම ගණනෙ වට්ටමක් සහිත මුදලකට අරගෙන දෙන්න බැරිද?


සියල්ල දැනගෙන මේ වගකිම භාරගත් බව මාධ්‍යයට කි අමාත්‍යවරයා අපි මේ දන්න ඇත්ත චුට්ට පිළිගන්නවනම් ලොකු අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන්.අපිට පීත්ත පටි කපන්න එන්න අවශ්‍යය නැහැ.අමාත්‍යවරයා පීත්ත පටි කපන පිංතූරයත් පළ කරන්නම්.අපි කැමති දක්ෂයන්ට පාවඩ වෙන්න.කියපු කරපු දේවල් නොකියා ජයග්‍රහණ දෙස බලා සිටින්න.කැමති අය සෙල්ෆි ගත්තට අඩුම තරමෙ එහෙමවත් අයිතිය කියන්න අදහසක් නැහැ.
නෙත්මිව දිනන්න පුළුවන් වෙන්න රකින්න.අපේ ඉල්ලීම එපමණයි.
පහතින් තියෙන්නෙ වසර දෙකකට පෙර නෙත්මි ගැන කෙරුණ වැඩ සටහනක්.ඇය මේ පදක්කම් දිනන්නෙ කොහොමද කියන කාරණය මෙය නැරඹීමෙන් වටහාගන්න පුළුවන්. https://www.youtube.com/watch?v=PmHFEQDbZek

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...