කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක් බිල්ඩර්ස් සමාගමට ලබා දීම වෙනුවෙන් අත්සන් කර තිබෙන ගිවිසුම හරහා ශ්‍රී ලංකාව භූ දේශපාලනික අවධානමක හෙළා ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අවධාරණය කළේය.
කොළඹ ඩොක්යාඩ් සමාගම නැව් අලුත්වැඩියාව සහ නැව් නිෂ්පාදනය සිදුකරන අතර රාජ්‍ය සමාගමක් ලෙස ලාභ ලබමින් ක්‍රියාත්මක වෙමින් සිටියදී 1993දී එහි කොටස්වලින් 51%ක් ජපානයේ ඔනිමිචි සමාගමට පවරා තිබේ. එම ගිවිසුමට අනුව ජපාන සමාගම කිසියම් හෝ මොහොතක එම කොටස් තවත් පාර්ශවයකට පවරන්නේ නම් ශ්‍රී ලංකාවට නැවත එම කොටස් මිලදී ගත හැකි වුවද අවාසි සහගත ලෙස ඉන්දියානු සමාගමට පැවරෙන ගිවිසුමකට ආණ්ඩුව එකඟ වී තිබෙන බවයි ජයගොඩ මහතා පැවසුවේ.
ඩොලර් මිලියන 50ක ඉතා අඩු ආයෝජනයක් ලෙස එය ලබා දී තිබෙන අතර ආයෝජන අවස්ථාවක් ලෙසද එය ඉතාම අවාසි සහගත බවයි ජයගොඩ මහතා කියාසිටියේ.
” ආණ්ඩුව මේකට කියන්නේ ඩොලර් මිලියන 50ක ආයෝජනයක් එනවා කියල. වෙන මුකුත් ඕනේ නෑ. මෙතන තියෙන දේපළ ඩොලර් මිලියන 130ක දේපළ. ඩොලර් මිලියන 130ක් වටිනා දේපළ තමයි ඩොලර් මිලියන 50කට දීලා තියෙන්නේ. කොළඹ වරායේ වටිනාම ඉඩම මෙතන තියෙන්නේ. කොළඹ වරයා ගත්තොත් ලෝකේ වරාය ශ්‍රේණි ගතකිරීම්වල 16 වෙනි ස්ථානයේ ඉන්නේ. ඉතාම නුදුරේදී 13 වැනි ස්ථානයට පැමිණීමට නියමිත කොළඹ වරායේ තියෙන අක්කර 25ක ඉඩම ඩොලර් මිලියන 50කට දෙන්නේ. අපි මේක නිකන් හිතුවොත් අවුරුදු පහකට ලීස් කළා කියල හිතුවොත් ගාන හදල බලද්දී පර්ච් එක මාසෙකට කුලිය විදිහට ඩොලර් 200කට දීලා තියෙන්නේ.”
ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක් බිල්ඩර්ස් සමාගම යද ප්‍රහාරක නැව්, සබ්මැරීන් නිෂ්පාදනය කරන සමාගමක් වන හෙයින් කුමන හෝ අවස්ථාවක ඉන්දියාව සමඟ රටක් යුද්ධයකට පැටලුනොහොත් ඉන් ශ්‍රී ලංකාවටද අහිතකර ලෙස බලපාන බව ඔහු සඳහන් කළේය. ඒ අනුව කොළඹ වරාය මෙන්ම කොළඹ නගරය ආණ්ඩුව විසින් අනතුරකට හෙළා ඇති බව ඔහු කියාසිටියේය.
මෙම ගිවිසුම සඳහා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් හෝ ලැබී නැති අතර ඉතාමත් ජනතා විරෝධී ක්‍රියාවක් බවයි ජයගොඩ මහතා පැවසුවේ.
මේ අතර ජපාන සමගම සතු කොටස් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ඊට මෙරට මුදල් අමාත්‍යාංශයේ අනුමැතියක් ලැබිය යුතු වන හෙයින් ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දුන් නිර්දේශය කුමක්ද යන්න පිළිබඳවද විමසා සිටින බව ඔහු ප්‍රකාශ කරන ලදී.
එම නිසා මෙම තීන්දුව ගැන යළි සලකා බලන ලෙසයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ.
එමෙන්ම මෙම ගිවිසුම අහෝසි කරවීම වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වන බව ඔහු පැවසුවේය.
ආශිකා බ්‍රාහ්මණ
