කෝටි 200 ක තමිල්නාඩු ආධාර තොගය කොළඹ වරායට – සහල්, කිරිපිටි, ඖෂධ, වෛද්‍ය උපකරණ තොගයක්

0
722

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් පරිත්‍යාග කළ ද්‍රව්‍යමය ආධාර තොගය අද කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා. මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රුපියල් කෝටි 200 කට වැඩි වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.

සහල් මෙට්‍රික් ටොන් 9000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් මෙම ආධාර තොගයට ඇතුළත් වන අතර මීට අමතරව ටොන් 25 කින් සමන්විත ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයකින්ද සමන්විත බවයි වාර්තා වන්නේ.

මෙම භාණ්ඩ තොගය තමිල්නාඩු ආධාර වැඩපිළිවෙලේ පළමු කොටස වන අතර තවත් අදියර කිහිපයක් යටතේ තමිල්නාඩු ආධාර ලැබීමට නියමිතය. ඒ යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000 ක් කිරිපිටි මෙට්‍රික් ටොන් 500 ක් සහ ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණද ඇතුළත් වේ.

මෙම ආධාර උතුර, නැගෙනහිර, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ජනතාව වෙත බෙදාදීමට නියමිතය.

මෙම ආධාර තොගය බාර ගැනීම සඳහා විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටි අතර ඉන්දියාව වෙනුවෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

UN