මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර හදන කතාවක් මා කීවේ නෑ. අමාරු වැඩ ගොඩක අපි හිරවෙලා – මහාචාර්ය ගෝමික

0
603

සටහන – රුවන් නෙළුගොල්ල

මාස තුනෙන් එප්පාවල පොස්පේට් පොහොර නිෂ්පාදනය කරන බවක් තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා පවසයි.

“හෙඩ්ලයින් ගිහිල්ලා තිබ්බා ඇත්තටම මමයි කිව්වෙ කියලාත්. මම එහෙම කවදාවත් කියලා තිබුණෙ නෑ මාස තුනෙන් දෙනවා කියලා. නමුත් ඒ විදියට හෙඩ්ලයින් ගියා. නමුත් ඇත්තටම මාස තුනකින් ඒ වගේ දෙයක් කරන්න කොහොමටත් බෑ. නමුත් අද වෙනකොට අපට ඇත්තටම තේරෙනවා මේක ගොඩක් අමාරු වැඩ ගොඩක අපිව හිරවෙලා තියෙනවා. මට හිතෙනවා ටිකක් පැහැදිලි කළා නම් හොඳයි කියලා. මේක ඇත්තටම ඉතාම වටිනා ප්‍රොජෙක්ට් එකක්. මේක අපි දෙසැම්බර් මාසෙ කැබිනට් අනුමැතියට දැම්මා. මේක ඕනෙ නම් අර ඉස්සෙල්ලා කළා වගේ අපට කරන්න තිබ්බා, ආයෝජකයෝ අපට කතා කරපු අය – ඇත්තටම මේ ප්‍රොජෙක්ට් එක යන්නෙ කර්මාන්ත අමාත්‍යාංශය හරහා. අපි ඔක්කොටම කතා කරපු සම්බන්ධ වෙච්ච ආයෝජකයෝ හිටියා. අපට ඕනෙ නම් ඒ එක්කෙනෙකුට දීලා කරන්න තිබ්බා. නමුත් එහෙම නොකර අපි හරි පාරෙ යන්න ගියාම බාධක වැඩියි. දෙසැම්බර් මාසෙ කැබිනට් අනුමැතිය හම්බුණා. ඒ වුණාට ඒක තව ආයතන ගොඩක ගිහිල්ලා ඒ තැන්වලිනුත් අනුමැතිය එන්න ඕනෙ. ඒවාට යන කාලයක් ගතවෙනවා. ඒ කාලය ගතවෙන නිසා අපි ආපහු කැබිනට් එකට ගියා ඒ කාලය ගතවෙනකල් EOI කැඳවන්න අනුමැතිය ගන්න. ඒකටත් කැබිනට් අනුමැතිය ලැබුණා. හැබැයි ඊටපස්සෙ ඒක නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඒ උපදෙස් අනුව වැඩකරන්න කියලා තමයි කැබිනට් පේපර් එකේ ලියවෙන්නෙ. එතකොට එතනට ගියාම මේකෙ තියෙනවා පරණ නඩුවක්. ඒක අවුරුදු 20 කට වැඩියි. ඒකෙ තිබ්බෙත් පොස්පේට් නිධිය ආරක්ෂා කරන්න. ඒකෙ වැරැද්දක් නෑ. හැබැයි ඒක විසඳාගන්න මේකෙ ආයතන කිහිපයක් එක්ක එකතුවෙලා වාර්තා ලබාදෙන්න, ඒවායෙ අඩුපාඩු වගයක් තිබ්බා. අපි දැන් ඒක ලිහාගෙන යනවා. මට සන්තෝසයි ගිය සතිය වෙනකොට අපි ඒ වාර්තාත් ඔක්කොම වගේ එකතු කරා. අපි මේ ප්‍රොජෙක්ට් එකට විතරක් කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ක මීටිං 15ක් විතර තිබ්බා. අපේ රටේ නීතිරීති තියෙන්නෙ වැඩක් ලේසියෙන් කරගන්න විදියට වඩා වැඩක් බ්ලොක් විදියට තමයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මුලින් මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා, ඊටපස්සෙ සද්දයක් නෑ කියලා. නෑ, එහෙම නෙවෙයි. අපි එක දිගටම උත්සාහ කළා හැම තැනකින්ම ඉස්සරහට යන්න. ඒ හැම තැනකම නොයෙක් දේවල් හිරවුණා. එහෙම තමයි වුණේ. එතෙන්දී මම කාටවත් ඇඟිල්ල දික්කරන්නෙත් නෑ, මොකද නිලධාරීනුත් උත්සාහ කරනවා තියෙන නීතිරීති අතරින් ඉස්සරහට යන්න”

විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති කමිටු ප්‍රධානී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.