මෙණ්ඩිස්ගෙන් සහ පැතුම්ගෙන් ගිණිකෙළි

0
253

නිශ්මං රණසිංහ ජූලි 11, කොළඹ LNW:

බංගලාදේශය සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය අරඹමින් පැවති තරගයේ ජය විචිත්‍රවත් මතක සටහනක් බවට පෙරළු පැතුම් නිශ්ශංක සහ කුසල් මෙණ්ඩිස් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිටි ජනතාවට සුවිශාල ආස්වාදයක් එක් කළහ.ඒ අතරින් ජයග්‍රහණය සඳහා වැඩිම දායකත්වය සපයන ලද ඉණිම ක්‍රියාත්මක කළ කුසල් මෙණ්ඩිස් එක්දින තරගාවලියේ සහ අවසන් එක්දින තරගයේ වීරයා වෙමින් දැක් වූ ප්‍රතිභාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් විස්සයි විස්ස තරගයේ ජයග්‍රහණයේ ද වීරයා වෙමින් ගෞරවයට පාත්‍ර විය.


තරගයේ කාසියේ වාසිය ලද ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට බංගලාදේශ කණ්ඩායමට ඇරයුම් කරනු ලැබීය.බංගලාදේශය විශාල ලකුණු ප්‍රමාණයකට යාමට අවශ්‍යය කරන උත්සාහය ගත්ත ද,ඊට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණ.වරින් වර සුළු නැගටීම් සමඟ පෙරට ඇදුණු බංගලාදේශ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පවීස් මොසේන් එමොන් ය.ඔහු ලකුණු 38 ක් රැස් කළ අතර මොහොමඩ් නායිම් ලකුණු 32 ක් ලබා ගත්තේය.මහේස් තීක්ෂණ ලකුණු 37 ට කඩුලු 2 ක් දවා ගත්ත ද,බංගලාදේශ පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමට වැඩිම බලපෑමක් ඇති කළේ සිය පන්දු වාර හතර තුළ ලකුණු 22 ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක් ලද දසුන් ශානක සහ ලකුණු 25 ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක් ලද ජෙෆ්රි වැන්ඩර්සේ යන දෙදෙනාය.


පිළිතුරු ඉණිමේ ආරම්භය යනු මල් වෙඩි සංදර්ශනයක් බඳු විය.මුල් පන්දු ඕවර් පහ තුළ ශ්‍රී ලංකාව ලැබූ ලකුණු ප්‍රමාණය 78 ක් විය.පස්වන පන්දු ඕවරයේ සිව්වන පන්දුවට පැතුම් නිශ්ශංක දැවී යන විට ඔහු පන්දු 16 ක් තුළ හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමඟ ලකුණු 42 ක් ලබා තිබිණ.ඒ වන විට ඊටත් වඩා ප්‍රහාරක වේගයකින් ක්‍රියාත්මක වෙමින් සිටි කුසල් මෙණ්ඩිස් පැතුම්ගේ නික්ම යාමෙන් පසුව කුසල් පෙරේරා සමඟ තරමක් තැන්පත් විය.


කුසල් පෙරේරාගේ දායකත්වය පන්දු 25 න් ලකුණු 24 ක් විය.අවිශ්ක ප්‍රනාන්දු ට දක්ෂතා අතරට ඒමට විශ්වාසයෙන් සකස් කර දුන් අංක 4 ස්ථානයේදී ද ඔහු අසාර්ථක විය.පන්දු 17 න් ලකුණු 11 ක් ලබා නොදැවී සිටිය ද ඔහු විශ්වසනීය ලෙස ක්‍රියාත්මක වන බවක් දකින්නට නොතිබිණ.කඩුලු 3 ක් ලෙස දැවී ගිය කඩුලු ගණන සටහන් කරමින් පන්දු 51 දී ලකුණු 73 ක් ලබා කුසල් මෙණ්ඩිස් දැවී ගිය පසු පිටියට පැමිණි නායක චරිත් අසලංක එල්ල කරන ලද මනරම් හයේ පහරින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරගවෙලියේ පෙරමුණ ගත්තේය.
පහතින් දැක්වෙන්නේ තරගයේ ලකුණු සටහනය. https://bit.ly/46zMufh