මරාගෙන මැරෙන පෞද්ගලික රෝහල්!

0
510

උපාලි කොළඹගේ

කොළඹ LNW:මිනිස්සුන්ට වේලක් දෙකක් නොකා ඉන්නත් පුළුවන්. නැත්නම් චාම් ආහාරයක් අරන් වේල පිරිමහ ගන්නත් පුළුවන්. දුවා දරුවන්ගෙ ටියුෂන් ගාස්තුත් තම තමන්ගේ හැකි නොහැකිකම අනුව සීමා කරගන්න හැකියි. අනික් සියලුම අමතර වියදම්ද එහෙමයි. අකමැත්තෙන් හෝ කපා හරින්න හැකියි. පටි තද කරගන්නව කියන්නෙ ඒකයි.

නමුත් සෞඛ්‍ය සඳහා කරන වියදම අපේ ජීවිතවලට අනිවාර්ය අංගයක්. මං හිතන්නෙ වර්තමානයෙ වැඩි පුරම වියදම් කරන්න වෙලත් තියෙන්නෙ ඒකට. මොන ජගතෙකුටවත් ඒකෙන් ගැලවෙන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ.

කවුරු හරි කිිව්වොත් හොඳ සෞඛ්‍ය පුරුදු රැකල ලෙඩ නොවී ඉන්න පුළුවන් කියල ඒක මනෝපාලයෙක්ම විය යුතුයි. අප සෞඛ්‍ය සම්පන්නව සමබර ජීවිත ගත කළ යුතුයි. හැකිතාක් ඊට උත්සාහ කළ යුතුයි. ඒ ගැන වාදයක් නෑ.

නමුත් යථාර්ථය ජීවිතයේ කොයිම අවස්ථාවකදී හෝ අප ලෙඩවන බවයි. එය කිහිප වරක් හෝ නිතර නිතර ද සිදුවිය හැකියි. ඊට මුහුුණ දීමය අප ඉදිරියේ ඇති බරපතලම ප්‍රශ්නය. එය හෙම්බිරිස්සා කැස්ස වැනි සාමාන්‍ය අසනීපයක් වියහැකියි. නැත්නම් පිළිකා, වකුගඩු ආබාධ වැනි දරුණු ගනයේ රෝගී තත්ත්වයක් ද වියහැකියි. ඒ මොන තත්ත්වයේ අසනීපයකට වුණත් වර්තමානයේ පොකැට්ටුවට දැනෙන තරමේ වියදමක් කිරීමට සිදු වීමය බරපතල ප්‍රශ්නය. හෙම්බිරිස්සා කැස්ස නිසා වෙන් හන්දියේ දොස්තර මහත්තයා ළඟට ගියත් රුපියල් හයහත් දාහකින් මෙහා බේරෙන්නේ නැත.

බරපතල අසනීපයකදී මෙම තත්ත්වය වඩාත් දරුණුය. සමහර විට ගේ දොර ඉඩකඩම් පවා උගස් තැබීමට හෝ විකිණීමට සිදුවෙයි. අවසන ලෙඩා ගේ ජීවිතය ද අහිමි වෙයි. බරපතල රෝගවලට ආණ්ඩුවේ රෝහල් වලට ගියද තත්ත්වයේ එතරම් වෙනසක් නැත. ඇතැම් රෝහල්වල සංකීර්ණ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්නෙ නැත. ඒවා තම තමන් මනාප වෛද්‍ය ආයතනවලට යොමුකරයි. පෞද්ගලික රෝහල්වල විය පැහැදම් වචනයෙන් කිවනොහැකි තරම් ඉහළය. එම රෝහල්වල දින කිහිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහල් බිල ලක්ෂ තුන හතරක් හෝ ඊට ඉහළ වියහැක. මෙම තත්ත්වයට මුහුුණ දෙන බොහෝ දෙනා මුණිවත රකිනුයේ වෙන කරන්න දෙයක් නොමැති නිසාය. ඇතැම් අය තම පවුල් තත්ත්වය මනින කෝදුවක් ලෙසද මෙම අසාමාන්‍ය රෝහල් බිල් පාවිච්චි කරති.

තම රෝගියා ගේ ජීවිතය දවසකින් හෝ දික් කර ගැනීමේ අහිංසක බලාපොරොත්තු වෙන් සිටින පිරිස්ද මේ අතර වෙති. කුමන තත්ත්වයක් යටතේ වුවත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ තත්ත්වයෙන් පවත්වා ගෙන යෑම පවතින රජයේ වගකීමකි. යුතුකමකි. ඔවුනට ඉන්මිදිය නොහැක .

රජයේ රෝහල් ඉහළ තත්ත්වයෙන් පවත්වා ගෙන යෑම මෙම තත්ත්වය සමනය කිරීමට එකම ප්‍රතිකර්මය බව මෙම ලියුම්කරුගේ අදහසයි. එය නිවැරදිව සිදු වුවහොත් පෞද්ගලික රෝහල් මගින් සිදුකෙරෙන ගසා කෑමද වාෂ්පවී යෑම නියතයි. මෙම ගැටලුකාරී තත්ත්වය උත්සන්න වීමට රජයේ මුදල් තත්ත්වය ප්‍රධාන හේතුකාරකයක් බව යළි යළි කිවයුතු නැත. එය පුනරුච්චාරණය කිරීමෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ ද නැත.

එසේ නම් අප කල්පනා කළ යුත්තේ රෝහල් පද්ධතිය පිළිසකර කිරීම සඳහා මුදල් සෙවීමය. ඊට විකල්ප ක්‍රම භාවිත කළ යුතුය. ⁣අතීතයේ මෙන් රෝහල් ලොතරැයියක් ඇරඹීම එක් ක්‍රමයකි.

මා හිතන්නේ ඊටත් වඩා ඇන් ඇම් යෝජනා ථලදායී කියාය. මේ ඇන් ඇම් යෝජනා මොනවාද? 1970 වසරේ සමගි පෙරමුණ රජයේ මුදල් ඇමතිවරයා වූ ආචාර්ය ඇන් ඇම් පෙරේරා යෝජනා කර සිටියේ රජයේ රෝහල් වලින් බෙහෙත් දීමේදී රෝගීන් ගෙන් සත25 ක මුද්දරයක් ලබා ගත යුතු බවය. වෙනත් වචන වලින් කිවහොත් රජයේ රෝහල් වලින් බේත් දීමේදී සත 25 ක් අය කරන ලෙසය. එය දිගටම ක්‍රියාත්මක වූයේ නම් වර්තමාන රෝහල් පද්ධතිය පෞද්ගලික රෝහල් අභිභවා යනු ඒකාන්තය. අද සත25නොගැළපෙතත් එය රු25 හෝ 50 කළහැකිය. මට මතක හැටියට මෙම යෝජනාව මාස කිහිපයක් ක්‍රියාත්මක විය.

මෙවැනි නව ක්‍රමයකින් හැරෙන්නට සෞඛ්‍ය පද්ධතිය සුවපත් කිරීමේ වෙනත් ඉන්ද්‍රජාලික ක්‍රමයක් ඇතැයි මට නම් නොසිතේ.