මුතුගලගේ “සූර්යා” දුවයි කියල ඉර පායනවා වගේ විශ්වාස කරන්න පුළුවන් ….

0
444

දිනේෂ් මුතුගල නිෂ්පාදනය කරපු මහේෂ් මුනසිංහගෙ දෙවෙනි අධ්‍යක්ෂණය වුනු සූර්යා ෆිල්ම් එකේ මංගල දර්ශනයට මටත් ආරාධනාවක් ලැබුනා. එතනදි අපිට දැනෙන අවංක අදහස ලියන්න, කියන්න කියල මුතුග‍ල ඉල්ලීමකුත් කළා.

දිනේෂ් මුතුගල වගේ ටියුෂන් ගුරුවරයෙක් අලුතෙන් චිත්‍රපට නිෂ්පාදකයෙක් විදිහට එකතු වීම සතුටට කාරණයක්. මං හිතන්නෙ නිෂ්පාදකයෙකුට වඩා එහා ගිහින් මුතුගල එයාගෙ අයිඩියොලොජිය, යුනිවර්ස් එකම චිත්‍රපටියට අරගෙන ඇවිත් තියෙනවා කියල.

ඇත්තටම නිෂ්පාදනයක් විදිහට සූර්යා උසස් මට්ටමේ වැඩක්. කැමරාව බාරව ඉඳලා තිබුනෙ අපේ රංග එස්බී. රූප රාමුවල නිමාව වගේම වාණිජ සිනමාවෙ වේගය, ගැම්ම දැනෙන සංස්කරණයත් ඉහල මට්ටමක තිබුන. වි‍ශේෂයෙන් සංගීතය චිත්‍රපටියට ලොකු දායකත්වයක් දීලා තිබුන.

කතාව මුතුගල සම්ප්‍රදාය හෙවත් අපේ බයි සංස්කෘතියෙ සාරය අරගෙන නිර්මාණය වුනු එකක්. පිටින් එකතු වෙන යාලුවො ඕනම වෙලාවක දුෂ්ටයන් විය හැකිය, විශ්වාස කළ හැක්කේ පවුලේ අයම පමණය, පැරණි ඥාති ප්‍රේම/විවාහ රොමාන්තිකය, සෙක්ස් නම් ඉතාම අන්තරායකාරීය කියන ප්‍රවාදය, යුක්තිගරුක මානුෂීය පොලිසිය, කන්ද උඩරට ප්‍රභූත්වය, විශේෂයෙන්ම යහපත් ගුණවත් යුක්තිගරුක අප්පච්චි ගැන කතාව ආදී සියල්ල හොඳින් මුහුවෙලා තිබුන. ඒ වගේම යූටියුබ් කරලා ලෝකෙ පෙරලන්න, ජීවිතේ ගොඩයන්න හදන තරුණ මෝටිවේෂනල් පුතාලත් හිටියා.

මේක වැටෙන්නෙ ආදර්ශමත් කතා කියන කැටගරියට. පියදාස සිරිසේනයන්ගේ මොඩර්න් වර්ෂන් එක. ඒක තාමත් මේ රටේ බහුතරයක ජීවන පරමාදර්ශ එක්ක සමපාත වෙනවා කියලයි මං හිතන්නෙ.

මගේ විවේචනය ‍කොහොම වුනත් චිත්‍රපටියක් විදිහට සූර්යා සාර්ථකයි කියලයි මං හිතන්නෙ. කොල්ලො කෙල්ලොන්ට බලලා සතුටු වෙන්න පුළුවන් සැහැල්ලු කතාවක් තියෙනවා. සිංහල බෞද්ධ පරමාදර්ශ ටිකත් රැකිලා තියෙනවා. සිනමා තාක්ෂණය පැත්තෙන් උසස් ප්‍රමිතියකින් වැඩේ කරලත් තියෙනවා. එහෙනං ඉතිං වෙන මොනවද?

වැදගත්ම කාරණය මේ නිර්මාණය පිටුපස සිටින හැම කෙනෙක්ම වගේ ඒ නිර්මාණය ඇත්තටම විශ්වාස කරන බව පැහැදිලියි. ඒ කරලා තියෙන්නෙ කීයක් හරි හොයාගන්න බොරුවක් නෙමෙයි. ඇත්ත වැඩක්. ඒ හින්ද සූර්යා දුවයි කියල ඉර පායනවා වගේ විශ්වාස කරන්න පුළුවන්.

~ චින්තන ධර්මදාස