වතුකම්කරු වැටුප 2000ක් ඉල්ලුවේ අපි විපක්ෂයේ ඉද්දී. දැන් බඩුමිල අඩුවෙලා නිසා 1700ක් ඇති – මාලිමා මන්ත්‍රී කිට්නන්

0
659

සටහන – රුවන් නෙළුගොල්ල

තමන් විපක්ෂයේ සිටි සමයේදී තිබූ තත්වය අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අවම වශයෙන් 2000ක් වත් ලබාදිය යුතු බවට සටන් කළ නමුත් මේ වනවිට බඩුමිල අඩුවී ඇති බැවින් රුපියල් 1700ක් ප්‍රමාණවත් බවට රජය තීරණය කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා පවසයි.

“ඇත්තටම එදා තිබිච්ච තත්වයට අනුව ඒ සටන එදා තිබුණෙ අඩුම වශයෙන් දෛනික වැටුප 2000ක් දෙන්න ඕනෙ කියලා. එතකොට හේතුවක් තිබුණා. හතර දෙනෙක් ජීවත්වෙන පවුලක වියදම මෙච්චරයි නම් ඒකට අදාළ වාර්තාවක් හදලා තියෙනවා නම් මහබැංකුව ඊටපස්සෙ වැටුප් වැඩිකරනවා නම් ඒක පදනම් කරගෙන වැටුප වැඩිකරන්න ඕනෙ. දැන් අද ගත්තොත් එහෙම තත්වය වෙනස් වෙලා තියෙන්නෙ. සමහර බඩුමිල අඩුවෙලා තියෙනවා, සමහර සේවාවන් ඒගොල්ලොන්ට වෙන විදියට ලැබිලා තියෙනවා, ඒ නිසා ඒකට අනුව අද හොඳ වැටුප් සකස් වෙන්න ඕනෙ කියන අධිෂ්ඨානයෙන් සටනෙන් ඉන්නවා. ඒක අයින් කරගන්නත් බෑ. හැබැයි අද ගත්තොත් එහෙම වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ආණ්ඩුවත් එක්ක අපි කතා කළා. ඊටපස්සෙ සමාගම් තනි තනියෙන් ගෙන්නලා සාකච්ඡා කළා. සමහර සමාගම් – දැන් මෙතන කියන්න බෑ, ඒක අවසාන සාකච්ඡාවට තවමත් ඇවිල්ලා නෑ – සමහර සමාගම් 1700 දෙන්න ලෑස්තියි. එතකොට අපි වැවිලි කර්මාන්ත අමාත්‍ය අපේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න සහෝදරයාත් එක්කත් කතා කරලා ආණ්ඩුව පොදු තීන්දුවකට ඇවිල්ලා තියෙනවා 1700ක් දෙන්න ඕනෙ කියලා. අපේ යෝජනාව තමයි අනිවාර්යයෙන්ම 1700 වතු කම්කරුවන්ට දෙන්න ඕනෙ, ඒකෙ වෙනසක් නෑ. ඒක දැන් ජනාධිපතිතුමා ළඟට එවලා තියෙනවා. ඒකට විසඳුම ළඟදීම ලැබෙයි”

පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.