*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

චින්න චින්න ආසෛ – 30: අවංක මිතුරු ඇසුර

මේ ළඟදි දවසක්දා හැන්දෑවක, පොතක් බලන්නට නොව විතක් පුරන්නට හිතෙන වැහිබර දවසක, හිතමිත්‍ර කුමරප්පෙරුම දුරකථන ඇමතුමක් දීල ඇහුවා, “කැමති නැද්ද අද අවංක මිතුරු ඇසුරකට ?“ කියල. අවාසනාවකට එදා වෙනත් වැඩක් යෙදී තිබුණත්, මේ යෙදුම ඔළුවේ පැළපදියම් වුණා. `අවංක මිතුරු ඇසුර` හැත්තෑව අසූව දශකවල ජනප්‍රිය යෙදුමක්.

ඉස්සර චිත්‍රකතා පත්තරවල – යව්වන යව්වනියන් වෙනුවෙන්ම අච්චු ගහපු පත්තරවල තිබ්බා, `මිතුරු හමුව` කියල තීරුවක්. මෙදා ෆේස්බුක් නම් එදා මිතුරු හමුව. ඔය කියන තීරුවේ මුද්දර සයිස් ෆොටෝ කෑල්ලක් එක්ක පුංචි විස්තරයක් පළවෙනවා. උදාහරණයක් හැටියට.. ඔන්න ෆොටෝ එකේ තරුණියක් ඉන්නවා. යටින් ඇගේ නම සහ ලිපිනය තියෙනව `සේපාලිකා වීරකෝන්, මිල්ලතේ, කිරිඳිවැල` කියල.

ඔය නම සහ ලිපිනයත් මරු කතාවක්. මොබයිල් ෆෝන් නැති කාලේ ඉතින් ලියුම්නේ ලියන්නේ කොල්ලො කෙල්ලො. ෆෝන් නම්බර් වෙනුවට ඇඩ්‍රස් තමයි දෙන්නේ.  දවසක් කෝච්චියේ යනකොට අහම්බෙන් කොල්ලෙක්ව මුණගැහිච්ච කෙල්ලෙක්, බැල්ම දදා ඉන්නවලු. ඇය ඊළඟ ස්ටේෂමෙන් බහිනවත්ලු. ගෙදර අය ඉස්සරහ ඇඩ්‍රස් දෙන්න බැරි නිසා, කොල්ලට කිට්ටුවෙලා  “ගස් පහයි වැල් එකයි“ කියල බැස්සලු.

දැන් අපි ආයෙත් මාතෘකාවට එමු. ඉතින් පින්තූරයටයි නමටයි ලිපිනයටයි යටින් තියෙනව අදාළ කෙනාගේ විනෝදාංශ. `විනෝ :` කියලත් දානව කෙටියෙන්. චූටි ඉඩකනේ මේ ඔක්කොම. පින්තූර දහයක් පහළොවක් දාන නිසා අකුරක ඉඩත් වැදගත්. එතකොට බොහෝ විට මෙහෙමයි තියෙන්නේ. විනෝ : නවකතා බැලීම, සිත්තර බැලීම(පත්තරේ අනුව නම වෙනස් වෙනවා), අවංක මිතුරු ඇසුර.

ඇත්තටම මිතුරු හමුවේ අපේක්ෂාව ඒක. තමන්ගේ හොඳම පින්තූරේ දාල ලිපිනයත් දාන්නේ කවුරුන් හෝ ලියුමක් එවයි කියල හිතාගෙන. විනෝදාංශ දාන්නේ සිතැඟි තේරුම් ගන්න. මේ ලෝකේ මිනිස්සුන්ට මිතුරන් නැතුව ඉන්න බැහැ. හැම මනුස්සයෙක්ම මිතුරෙක් මිතුරියක් හොයනවා. හැබැයි ඒ හොයන්නේ නිකම්ම මිතුරන් නෙමෙයි අවංක මිතුරන්. අවංක මිතුරන් සිතැඟි තේරුම් ගන්නවා.

“අවංක කම පෙන්නා – ගිනි මැළයට පැන්නා“ කියන කියමන; ගොඩාක් අවංක වෙලා අමාරුවේ වැටෙන මිතුරන්ට සදය උපහාසයකින් අපේ මිතුරන් පාවිච්චි කරන එකක්. ඕක හැදෙන්න ඇත්තේ සස ජාතකේ හාවාගෙ කතාවෙන්. බමුණෙක්ගේ වේශය අරගෙන ආව ශක්‍රයාට දානයක් දෙන්න ජීවිතේම කැපකරලා ඒ හාවා පැන්නනේ ගිනි මැළේට. ඒක කළේ හැබැයි මිතුරුකමට නෙමෙයි අවංකකමට – බෝසත්කමට.

“සාවා සැතපී සිටිය තැනින් නැගිට තම ලොම් වැළවූ කිනිතුලන් ආදී කුඩා සතුන් තුන්විටක් ඇඟ කිලිපොළා අහකට යවා සියලු ශරීරය දාන මුඛයෙහි පැමිණේ යැයි අධිෂ්ඨාන කොට පියුම් ගැබකට පනින රාජ හංසයකු මෙන් සතුටු සිතින් අඟුරු මුදුනට පැන්නේ ය.“ කියල තමයි ජාතක කතා පොතේ තියෙන්නේ. අවංකකම පියුම් ගැබක්. ජාතක කතා පන්සිය පණහක්. සස තුන්සිය අට.

ලියුම්කරු කුඩාම අවධියේ දෙමව්පියන් සමග වාසය කරපු කුලී නිවසේ අංකයත් තුන්සිය අට. ඒ කාලේ ලියුම්කරුට හිටිය පාසල් යාළුවො දෙන්නගෙන් එක යාළුවෙක් හොයාගන්න පුළුවන් වුණා අවුරුදු විසිපහකට විතර පස්සේ. ඒත් නැවත හමු වූ පසු අතීත ප්‍රහර්ෂය වර්තමානයට දුරයි වගේ දැනුණෙ කොහොමද කියල ලියුම්කරු තවමත් කල්පනා කරනවා.  

පාසලේ හතර වසරෙන් පස්සේ තමයි නියම මිතුරන් මුණගැහෙන්න පටන් ගත්තේ. ඒ අතරිනුත් අවංක මිතුරන් ඇසුර හරිම අසිරිමත්. ජීවිතේ සතුටුයි මචං වගේම ජීවිතේ වෙහෙසයි මචං කියන කරුණු දෙකම බෙදාගන්න පුළුවන් එකා තමයි යාළුවා. බුදුහාමුදුරුවොත් වෙහෙස කිව්වේ අගසව් දෙනමට නෙමෙයි ආනන්ද හාමුදුරුවන්ට. “වෙහෙසයි ආනන්ද.. පිපාසයි ආනන්ද !“

මෑතකදී හමුවුණු වෘත්තීය සගයෙක් වන රංග සිංහාරගේ කිව්වා, “අම්මපා ඕන දේකට හා. හැබැයි අම්මප වෙන්න ඕන“ කියල. `අම්මප` යෙදුමෙන් ඒ කිව්වෙත් අවංකකම ගැනම තමයි. දේශපාලනයේදී අවංකකම කොහොමද වරනැගෙන්නේ කියල ලියුම්කරු කල්පනා කරනවා. වාමාංශිකයෙක් අවංක වෙන්නේ වමට. දක්ෂිණාංශිකයෙක් අවංක වෙන්නේ දකුණට. ඒ අතින් බැලුවම දේශපාලන අරගල භූමියත් එක්තරා විදිහක ගිනි මැළයක්.  

හෝමෝ සේපියන්ස් සේපියන්ස් අවංක මිතුරන් හොයනවා. හැබැයි අවංකකම සාපේක්ෂයි. මිනිසාගේ හොඳම මිතුරා යැයි විරුදාවලි ලත් බල්ලාත් වැඩිපුරම අවංක වෙන්නේ තමන්ව රැකබලාගන්නා මිනිසාට විතරයි. ඒ කියන්නේ අවංකකම දුන්නොත් අවංකකම ලැබෙනවා, අහා.. ඒකත් එහෙනම් දයලෙක්තිකයි. මිතුරා ගසට නැගි පසු බිම වැතිරගත් මිනිසාට, වලහා එච්චර බර වචන නොකියූ බව විශ්වාසයි.

මේ ලියන හැන්දෑවත් පොතක් බලන්නට නොව විතක් පුරන්නට හිතෙන එකක්. අවංක මිතුරු ඇසුරකට හොඳ දවසක්. දෙමටගොඩ ඉන්න සුපුලා මුහුදු මාවතට එන බව කිව්වා. සව්දිය පුරන අතරේ ඉතාලියේ ඉන්න මංජුලයාට කෝල් එකක් ගන්නට ඕනෑ. සීතල බීර වීදුරුවක දහස් ගණනක් පෙණ බුබුළු අතරින් ලෝකේ කොහේ හිටියත් අවංක මිතුරු හදවත් යාවෙන හැටි – පාවෙන හැටි බලන්න ලස්සනයි,

ජීවිතයේ හමුවූ සියලු අවංක මිතුරනි, චියර්ස් !

– විමල් කැටිපෙආරච්චි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan