“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

Date:

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි අප මිත්‍ර විමල් කැටිපෙආරච්චිගෙ තීරු ලිපි සංග්‍රහයක් ‘විනිවිද කළුවර දිදුලන හදවත’ යන මැයෙන් අහස ප්‍රකාශනයක් විදිහට සහෘද සන්තක වුණා. හැන්දෑව මන්දාරම් නොවී රස දෙසුම් සහ ගැයුම්වලින් නින්නාද වෙවී නිමා වුණේ කැටිපෙ විසින් ස්තුති කතාවෙදි The Shawshank Redemption සිනමා සිත්තමේ වැටෙන නිදහස් වැස්සක් ගැන මතක් කරල.

නිල පොත් දැක්වීමේ උත්සව ඉවර වුණා ම නො නිල සැණකෙළි ඇරඹෙනව. අවංක මිතුරු ඇසුර සිද්ද කරද්දි මල් මදිරා බැරි නම් ප්ලේන්ටී හරි පෙම් සිලිලාරට මුහු වෙන්න ඕනෙ. (ඒකත් ඉවර කරල එළියට ආව ම තව පැය දෙකක් දුවත් එක්ක කොළඹ පාරවල්වල ඇවිද ඇවිද ගෙව්ව හැටි වෙනම දවසක ලියන්න හිතන්නෙ ඒ සෞන්දර්යාත්මක නිමේෂයන්ට හැඟීම් හදපු ලියුම්කරුට උපහාර පිණිස. )

පොතක් නිදහසේ කියවන්න තරම් සුඛෝපභෝගී ජීවන මාදිලියක් නැති කාලයක් වුණත්‍, ඔන්නොහේ‍ සතුට විලයි සැපත මලයි නෙලුවොත් මල අතින් එකයි කියල එක හුස්මට දිදුලන හදවත කියවල ඉවර කළා. බිම තියන්න බැරි තරම් නොස්ටැල්ජියාව අපිට බද්ධයි. සද්ද නෑ. නිස්සද්දයි. රසදිය වගෙයි‍, බරයි. කැටිපෙ ම කියනව වගේ භාෂාව නමැති සදාතනික පෙම්වතිය එහි සියුමැලිව අඩිය තියනව.

නොස්ටැල්ජියාවෙන් විස්මයාලංකාර මවන අපේ කාලයේ මේ ලියුම්කරුගෙ ඔය ලිවිල්ල හැමදාමත් මට තදින් වදින්නෙ ම අපි එක වයස්වල එක ම සමාජ‍, දේශපාලනික‍, කලා ප්‍රවාහයන්වල සමාන්තරව ගසාගෙන බසාගෙන වගේම නැලැවි නැලැවි හැබැයි ඇල නො වී ආපු ගමනෙ තියෙන සමපාත බව හින්ද කියන එක එක හේතුවක්. අනික් හේතුව ඔහුගෙ සදා රසවත් ලිවිල්ල. ආදරයේ රස මියුරු වේදනා!

‘දිදුලන හදවත’‍, අපේ ඉපැරැණි චිත්‍රකතා‍, නාට්‍ය‍, ගුවන්විදුලි‍, පුවත්පත්‍, රූපවාහිනී‍, ගීත‍, සිනමා, අරගල‍, දේශපාලනික සහ පොත පත මතක අවුස්සනව විතරක් නෙවෙයි‍, අපේ ඇතුළෙ තාම පණ ගැහෙන ළමයව‍, යෞවනයව ඉර රශ්මි කදම්බ බිලියන ගාණක ෆ්ලෑෂ් එකක් ගහල අවදි කරවල ගන්නව. හලාවත‍, අඟුලාන‍, කොළඹ මතක විතරක් නෙවෙයි මතුගම‍, නුවර‍, මාතර‍, කන්තලේ‍, යාපනේ‍, අනුරාධපුර මතක උර පවා ලිහනව.

කොහොමින් හරි අර විශේෂ චාරිකා බෝර්ඩ් එකක් ගහගෙන කට්ටිය යන අපූරු ගමන් ලියුම්කරු ඇතුළු අවංක මිතුරො එක්ක කොච්චර ප්ලෑන් කරත් යන්න බැරි වුණ එකක්. මිනිහ කිසි ගාණක් නැතුව ඒව යන්න බැරි වෙච්ච වග ලියල කොලවල අච්චුත් ගහල. අපි ට්‍රිප් ගියේ කටිනුත් නෙවෙයි ගෘප් චැට්වල අතින්.

ජනප්‍රිය වගේ ම ජනප්‍රිය නොවෙන චරිතත් අරං එන ලියුම්කරු‍, නො වරද්දා ම ඒ පැදුරෙ රටාව දාල ඉවර කරන්නෙ වඩා යහපත් සමාජයක් ගැන ඔහුට වගේ ම අපට තියෙන සිහිනය පාඨකයට මතක් කරමින්. හැම තීරු ලිපියක් ම සීරුවට කරන්නෙ ඒ වැඩේ. ඒ වෙනුවෙන් ඔහු තමන්ගෙ ම ජීවිතෙනුත්‍, මේ දූපතෙනුත් ලෝකෙනුත් පාට සායම් අරගන්නව.

ලියුම්කරුගෙ දේශපාලනික ගමන් වගේ ම කලාව සහ මාධ්‍ය ඇතුළෙ යන ගමන ඔහු පාට කරන්නෙ තලෙළු පාටින්. හැබැයි ඔහුගෙ රස වින්දනයේ පරාසය කළුසුදු හෝ ඊස්ට්මන් නෙමෙයි දේදුනු වර්ණ බව අපි දන්නව. ඒක මේ පොත පුරා අපූරුවට පේනව.

පොත එක විදිහක පර්යේෂණ ග්‍රන්ථයක්. කලාවේ සහ මාධ්‍යවල ඉතිහාස තොරතුරු පිළිබඳ අවශ්‍ය කෙනෙකුට අවිධිමත් මූලාශ්‍රයක්.

මේ සටහන නිමා කරන්නෙ ලියුම්කරු ලිව්ව කට පාඩමින් රැඳි ලිවිලි බොහොමයකින් එකක් සිහිපත් කරමින්.

ප්‍රින්ස් උදයප්‍රියන්ත කියන්නෙ අපේ යෞවනය වේදනාත්මක ශෘංගාරයකින් සලිත කරල නිවපු ගායකයා. ඔහුගෙ ගීත එක්ක අපේ යෞවන අවදියට තියෙන්නෙ කවදාවත් නො මැකෙණ කාටවත් මෙහෙමය කියල පෙන්නන්නත් බැරි චින්න චින්න ආසයි පන්නයේ ශෝකයත් සංසුන් බවත් අතර මතක. මේ පොතේ ඒ කතාව නැතත් ප්‍රින්ස් අකාලෙ ජීවිතෙන් සමුගන්න වෙලාවෙ ලියුම්කරු මුහුණුපොතේ සටහනක් ලියල ප්‍රින්ස්ට හෙවත් අපේ ඒ අතින් අල්ලල පෙන්නන්න බැරි යෞවනයේ සෞන්දර්ය කලාපයේ පතාක යෝධයට හරසර දක්වනව. එහි අවසානයේ ඔහු සදා නොමැකෙන බදා වැළඳගන්න හිතෙන යමක් ලියනව.

ලියුම්කරුගේ සාහිත්‍ය‍, ජනමාධ්‍ය මැදිහත් වීම් ගැන අපට කෙටියෙන් ඔහුගෙ ම ඒ වචනවලින් කියන්න තියෙන්නෙ මෙච්චරයි.

චූල වංශයේ ආචාරය !

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...