පුදනකොටම කාපි යකා – ළමා හිංසනය උත්කර්ෂයට නංවමින් පොලිස්පතිගෙන් අජූත කතාවක් !!

Date:

තමන් කුඩා කාලයේදී තම මව තමන්ට හොඳම පොල්ලකින් පහරදුන් බවත් එය ඇගේ බුද්ධිමත්කම බවත් තමන්ට මේ පොලිස්පති තනතුර දක්වා පැමිණීමට හැකිවුණේ තම මව සිදුකළ පහරදීම් නිසා බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

”මම ගමේ ඉස්කෝලෙට යනකොට – අපි අතීතයට ගියොත් – ඔය පන්තිවල ගහගන්නවානෙ. මගේ පන්තියේ මම තමයි චණ්ඩියා හිටියෙ. එතකොට ඒ පන්ති පන්ති අතර ගැටුම් තියෙනවානෙ. එක දවසක් මම ඉහළ පන්තියේ කෙනෙක් එක්ක ගහගෙන – මගේ මේ අතෙත් තියෙනවා තවම මාක් එක – මෙතනින් ඇන්නා, සෑහෙන තුවාලයක් වුණා. දැන් ගෙදර ගිහිල්ලා කන්න බෑ, අත තුවාල වෙලා. අම්මා බලනවා මොකද කන්න බැරි කියලා. මම වමෙන් කනකොට ඇහුවා මොකද වමෙන් කන්නෙ කියලා. මම කිව්වා නෑ මම වමෙන් කන්නත් බලනවා කියලා. පෙන්නං අත කිව්වා. බැලුවා, එතකොට අතේ තුවාලෙ තියෙනවා. ඇහුවා දැන් කොහොමද තුවාල වුණේ ? අන්තිමේ කියන්න වුණා ගහගත්තා, තුවාල වුණා කියලා.

දැන් මේ අද කාලෙ – අද උදේ මට ආවා ප්‍රශ්නයක් – කන්තලේ ප්‍රින්සිපල්ව ගෙනියන්න හදනවා, දේශපාලන බලයකුත් එක්ක, අම්මා කම්ප්ලේන් එක මටත් එවනවා, මේ ෆෝන් එකේ තියෙනවා, ප්‍රින්සිපල් ගැහුවා කියලා ළමයාට.

එදා මගෙ අම්මා මොකද දන්නවාද කළේ ? මාව එක්කන් ගිහිල්ලා කවුද ගැහුවෙ කියලා ඇහුවෙ නෑ. එතන තිබුණු හොඳම පොල්ලෙන් පිට හරහට දීගෙන ගියා. (සිනාසෙයි) මම ඒ කොල්ලාගෙනුත් ගුටිකාලා, අම්මාගෙනුත් ගුටි කෑවා. හැබැයි ඒක තමයි මං දැකපු මගේ අම්මාගෙ තිබුණ බුද්ධිමත්කම. උගත් නැති වුණාට මම දැකපු, මගේ ජීවිතේ දැකපු බුද්ධිමත්ම ගැහැණිය. දැන් අපි මෙතන ඉන්නවා නම්, ඒ තනතුරු ඔක්කොටම මට පාත් එක හදලා දුන්නෙ අන්න ඒ පහරදීම් එක්ක”

ළමා හිංසනය උත්කර්ෂයට නංවන මේ කතාව පොලිස්පතිවරයා සිදුකළේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේදී ඊයේ (16) පැවති උත්සවයකදී වීම ද විශේෂත්වයකි.

ඔහු පොලිස්පතිවරයා පමණක් නොව නීතීඥ වෘත්තියකයෙකු ද වේ. ළමයින්ට පහරදීමට, වධහිංසාවට ලක්කිරීමට හෝ කෲරත්වයට පත්කිරීමට දෙමව්පියන්ට හෝ විදුහල්පතිවරුන්ට හෝ ගුරුවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට හෝ කිසිදු අයිතියක් ශ්‍රී ලංකාවේ පවතින නීතිය තුළ නොමැති බවත් ළමුන්ගේ භාරකරුවා වන්නේ රජය වන අතර ළමුන්ට පහරදීම, වධහිංසාවට ලක්කිරීම හෝ කෲරත්වයට පත්කිරීම යනු ඕනෑම තරාතිරමක අයෙකු නීතියෙන් දඬුවම් ලැබිය යුතු බරපතළ වරදක් බවත් ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිවරයා නොදන්නවා නොවේ, ඔහු එය තඹයකට තැකීමක් නොකරයි.

ළමයෙකුට විදුහල්පතිවරයා විසින් පහරදීම ගැන මවක් පොලිස්පතිවරයාටම කළ පැමිණිල්ලක් ඔහු ප්‍රසිද්ධියේ අවඥාවට පත්කරමින් උපහාසයෙන් සිනාසෙයි. ඔහු යටතේ පවතින පොලීසියෙන් කිසිදු විටෙක මෙවැනි ළමා හිංසනයකට යුක්තිය නම් ඉටු නොවන බව ඔහු පොලිස්පති ධුරය ලත් පළමු සතියේදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, කිසිදු බියක්, සැකක්, පැකිළීමක් නොමැතිවම ය. ඇත්තෙන්ම මෙවන් රටක දරුවන්ගේ අනාගතය ගැන කවුරු කවුරුත් දැන් සිට බියපත් විය යුතුය.

ඒ කතාව කියනා අතරතුර පොලිස්පතිගේ මුහුණෙන් පෙන්නුම් කෙරෙන හැඟීම් තුළින් පැහැදිලිවන්නේ ඔහු එම පහරදීම් සහ පහරකෑම් කොතරම් නම් ආශ්වාදනය කරන්නේද යන්නයි. ඔහු මෙසේ වින්දනය කරන්නේ කුඩා දරුවන්ට පොලුවලින් පහරදීම පමණක්ද, එසේ නැතිනම් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට පොලිස් කූඩු තුළ දමාගෙන මියයන තුරු පහරදීම, සැකකරුවන් මහ රෑ ආයුධ පෙන්වීමට ගෙනයාමේ නාටකයට හසුකිරීම වැනි දෑත් ඔහු මේ ආකාරයෙන්ම ආශ්වාදනය කරනවාද නැතිද යන්න අප දන්නේ නැත. මන්දයත් ඔහු වැඩබලන පොලිස්පති තනතුර දරන සමයේත් එවැනි සිද්ධිත් එකකට දෙකකට වඩා සිදුව තිබුණු බැවිනි.

ශිෂ්ඨ සම්පන්න රටක නම් මේ කතාවම ඔහුට පොලිස්පති ධුරය අහිමි වීමටත් ප්‍රමාණවත් ය. එහෙත් මෙය ශ්‍රී ලංකාව නිසා ප්‍රියන්ත වීරසූරිය ළමුන්ට තළන විදුහල්පතිවරුන් සිය නිල බලය යොදා බේරමින්, ළමුන්ට තැළීම ප්‍රසිද්ධියේ උත්කර්ෂයට නංවමින්, බුද්ධිමත්ම ක්‍රියාව ළමුන්ට තැළීම බව නීති පීඨයක් තුළදී කිය කියා නීතිය පවා කෙළසමින් තවදුරටත් ඒ පුටුවේ සිටිනු ඇත.

පොලීසියේ පුනරුදය මෙයදැයි කියා නීතීඥයකු වන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලත්, හිටපු පොලිස් නිලධාරියෙකු වන මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ආනන්ද විජේපාලත් රටට පැහැදිලි කළ යුතුව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...