නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW:
ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක ක්‍රිඩා ඇමතිවරු පවා ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් වන විවේචනවලට ඇහුං කං දුන්නේය.ඒවා නොකළ යුතු සහ කරන කිසිවෙක් තමන් තරමට නොදන්නා බව කියනාකාරයේ අදහස් ඉදිරිපත් නොකළේය.එහෙත් නිතර එවැනි කතා මුමුණන ඉතිහාසයේ මහා දැවන්තම වෙනස කරන බව කියමින් පරණ දේවල්ම නැවත කරන තැනක් බවට පත්ව තිබෙන ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ලංකාවේ ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය (NADO) අගෝස්තු 19 දින තහනමට ලක් කිරීමට ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) තීරණය කර ඇත.
ඇමතිවරයාව සියවසේ ක්‍රීඩාවට පහළ වූ මහා ප්‍රාඥයා බව පෙන්වන ක්‍රීඩාං සංගම් සම්මේලනවල අදහස් මෙන්ම වැඩි දෙනෙක් උපදේශනයට එක ක්‍රීඩාවකින් පත් කරගෙන ඒ ක්‍රීඩාවේ පණත් පවා බලය තිබූ පාර්ශවවලින් ගලවා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට තාවකාලිකව පැවරුණු බලය මත සංශෝධනය කරමින් කටයුතු කිරීමේ වැරද්ද අප කාලයක සිට පෙන්වා දුන්නේය.එහෙත් ලෝක තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (WADA) විසින් 2025 මාර්තු 27 වන දින සිට ශ්‍රී ලංකාවේ ජාතික සැළැස්මේ නිවැරදි විය යුතු කරුණු සහ අනුගත විය යුතු කොන්දේසි සම්බන්ධයෙන් ඇති විය යුතු සංශෝධන සිඳු කිරීමට මාස හතරක කාලයක් ලබා දී තිබිණ. 2025 ජූලි 28 වන දින, WADA විසින් NADO වෙත අනුකූල නොවීම පිළිබඳව ද දැන්වීමක් කර ඇති අතර එහෙත් නිසි ප්‍රතිචාර නොදැක්වීම මත අගෝස්තු 19 වන දා ශ්‍රී ලංකාවේ ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය (NADO) ලෝක තහනම් උත්තේජක විරෝධී නීති සංග්‍රහයට (කේතය) අනුකූල නොවන බව ප්‍රකාශ කර ඇත.
ඇමති ලංකාවේ මැත කාලයේ පැවත් වූ ආසියානු බොක්සිං තරගවලට තේජස් ලීලාවෙන් සහභාගි වනු අපි දුටිමු.එහෙත් ඒවායේ ලංකාවට පැමිණි රිදී පදක්කම් ආදිය වැඩි ප්‍රමාණයක් ගලා ආවේ එම බර පංතිවල තරගකරුවන් නොමැති නිසා බව ඔහුට නොහැඟුණා විය යුතුය.ඒ ආකාරයට නේපාලයේදී දිනූ බොක්සිං කණිෂ්ඨ පදක්කමක පුරාජේරු කතා කතා ද සමඟ ආචාර්ය උපාධියක් ද සහිත උගත් තරුණයෙකු ශ්‍රී ලංකා තහනම් උත්තේජන කාර්යාංශයේ මුල් පිටුවේ හිඳුවා තැබුවේ රොෂාන් රණසිංහගේ ආශිර්වාදයෙන් බලයට පැමිණි බොක්සිං සම්මේලන සභාපතිවරයා සහ ඔහු වටා සිටින කල්ලියේද ආශිර්වාදයත් ලබාගෙනය.කෙසේ වුව ද රටට කීර්තියක් අත් කර දීම නිසා ඇමතිවරයාට වඩා කාලයක් ක්‍රීඩාව සමඟ ගෙවා ඇති අප නිහඬවම ඇමතිවරයා ආසා කරන සහ ඔහුට ක්‍රීඩාව සමඟ සම්බන්ධකම් ඇති කාලයට සාපේක්ෂව ඔහුට ඇති දැණුමෙන් සැනසෙන්නට ඉඩ හැරියෙමු.
ක්‍රීඩාව වැනි විෂයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවද වැඩි අවධානයක් යොමු කරන්නේ නැත.එහෙත් ඔවුන්ගේ පාලන හපන්කම් නිසා කුණ මඩ තැවරෙන ශ්‍රී ලංකාව ගැන ඉදහිට හෝ සතුටුදායක සුබදායක ආරංචියක් එන්නේ ක්‍රීඩාව නිසාය.බොහෝ විට ක්‍රීඩාව යනු ඇඟෙන් කරන ගේම් එකක් මිස ඔළුව අදාළ නැති එකක් සේ සිතන ව්‍යහුයක අමාත්‍යවරයාද ක්‍රීඩාවේ ඔළුව පෝෂණය කිරිමට වඩා ක්‍රීඩාවට තමන් සතුව සහ තමන්ගේ වෘත්තීයට අයත්වන ඔළුවේ විශාලත්වය සහ වැදගත්කම පෙන්වන්නට උත්සාහ කරන්නේය.
ක්‍රීඩා පණත සංශෝධනයේදී ද වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ සහ වරලත් ගණකාධිකාරි තනතුරුවලට වැදගත් ඉඩක් වෙන් කර දෙමින් වෙනම අයිතියක් තනතුරු දැරීමට හැකිවන ලෙස පවරා දුන්නේ තමන්ගේ වෘත්තීය සහ සහ තවත් වෘත්තීන් කිහිපයක් පමණක් ලංකාවේ ඕනෑම කේෂ්ත්‍රයක වගකීම් දැරීමට සුදුසු වෘත්තීන් වන අතර වෙනත් වෘත්තීන් ඊට වඩා බාල බවට සංඥාවක් නිකුත් කරමින්ය.මේ රටේ උගතුන් වියතුන් සම්බන්ධයෙන් ෆෝබියාවක් ඇති කර පාළකයාට ඒ සළු නිසි ලෙස ද අනිසි ලෙස ද පොරවා ජනතා පාලනයට ගෙන ඒම ගැන රංවල ආචාර්ය කෝළමේ සිටම ගැටළුකාරි ලෙස පෙනෙන්නට තිබුණ ද එය ජනතාව අතර ඇති කළ උවමනාවකට වඩා පාළකයා තුළ ඇති අවශ්‍යයතාවකයක් බව පෙනෙන්නේ ක්‍රීඩා ඇමතිවරයා වැනි අයගේ හැසිරීම් නිසාය.ඔහු අන් මත සම්බන්ධයෙන් දරණ දරුණු විරුද්ධවාදී අදහස් නිසාය.
මලල ක්‍රීඩා නිලවරණය නැවතීම ගැන අප කළ විවේචනයේදී අමාත්‍යවරයා අපේ අදහසට ගැරහුම් වැකියක් ලියා එය මකමින් එවපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපිය අපි වෙත යොමු කළේය.එහි අවසාන පරිච්ඡේදය සිංහල තේරුම අපට නම් නොහැඟිණ.ඒත් අමාත්‍යවරයා එය අප වෙත යොමු කරන්නේ පූර්ව දැණුමක් සහිතව එය සිඳුවන ආකාරය දන්නා නිසාය.එය වත්මන් මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයාට ද තේරී ඇත.එහි අදහස අමාත්‍යවරයා දන්නා අකාරයටම මලල ක්‍රීඩා සංගමයද දන්න බව නොවේද?
ජාතික තහනම් උත්තේජක විරෝධී සංවිධානය මුහුණ දී ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එ් පැත්තෙන් එන අදහස්වල ඇති කාරණාද සැළකිල්ලට ගත යුතුය.එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ මේ නොසළකා හැරීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග සහභාගීත්වයකට බාධාවක් නැති බවය.දේශිය තරගාවලි පවත්වන්නට බාධාවක් නැති බවය.එසේම මේ ප්‍රමාදය මාස හතරක් තිස්සේ සිඳුවෙමින් පවතින්නේ කැබිනට් අනුමැතිය ප්‍රමාදවීම නිසා බව බෝලය ඇමති වෙත යොමු කරමින් පවසන්නේය.
මේ රට වූ හානියක් ලෙස පිළිගනිමින් කතාවට පිවිසීම වෙනුවට මේ නිසා ලංකාවට වෙන දෙයක් නැහැ වගෙ අදහසක් ප්‍රකාශ කිරීම අනුචිතය.ලංකාවේ තහනම් උත්තේජන පරීක්ෂණ පිළිගන්නේදැයි යන්න සහ එම තීරණ ජාත්‍යන්තරයට වලංගු ද යන්න විමසා බැලීම වටින්නේය.
පහත ඇත්තේ ජාත්‍යන්තර වශයෙන් තහනම පනවමින් නිකුත් කළ නිවේදනයේ පරිවර්ථනය ය.
2025 මාර්තු 27 වන දින පැවති රැස්වීමේදී, WADA හි විධායක කමිටුව (ExCo) විසින් ශ්‍රී ලංකා NADO අනුකූලතා ‘නිරීක්ෂණ ලැයිස්තුවට’ එක් කිරීමට WADA හි ස්වාධීන අනුකූලතා සමාලෝචන කමිටුව (CRC) විසින් කරන ලද නිර්දේශය අනුමත කරන ලදී.
එහි නීතිමය රාමුව සමාලෝචනය කිරීමෙන් ලබාගත් අනුකූලතා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා NADO ‘නිරීක්ෂණ ලැයිස්තුවට’ එකතු කරන ලදී. අත්සන් කරන්නන්ගේ කේත අනුකූලතාව සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියට (ISCCS) අනුව, ශ්‍රී ලංකාවේ NADO ‘නිරීක්ෂණ ලැයිස්තුවට’ එකතු කිරීමෙන්, ExCo විසින් NADO හට ඔවුන්ගේ නිවැරදි කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමතර මාස හතරක් ලබා දෙන ලදී.
2025 ජූලි 29 වන දින නිවේදනය කරන ලද පරිදි, නිරීක්ෂණ ලැයිස්තුවේ කාලය අවසානයේ නීති පද්ධතියට අවශ්‍ය සංශෝධන තවමත් සම්මත කර නොතිබුණි. 2025 ජූලි 28 වන දින, WADA විසින් NADO වෙත අනුකූල නොවීම පිළිබඳ විධිමත් දැන්වීමක් යවන ලදී. WADA හි අනුකූල නොවීම පිළිබඳ චෝදනාව, අනුකූල නොවීමේ යෝජිත ප්‍රතිවිපාක හෝ විධිමත් නිවේදනයේ දක්වා ඇති දින 21 ක කාල සීමාව තුළ යෝජිත නැවත පිහිටුවීමේ කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා NADO ආයතනය විවාද කළේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස, ISCCS හි 9.3.1 වගන්තියට අනුකූලව, චෝදනාවට අනුකූල නොවීම පිළිගත් බව සලකනු ලබන අතර නැවත පිහිටුවීමේ ප්‍රතිවිපාක සහ කොන්දේසි පිළිගනු ලැබේ. ඒ අනුව, 2025 ජූලි 28 වන දින ශ්‍රී ලංකා NADO වෙත යවන ලද විධිමත් දැන්වීම දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කළ හැකි අවසාන තීරණයකි.
CRC විසින් නිර්දේශ කර ඇති පරිදි සහ WADA හි ExCo විසින් අනුමත කරන ලද පරිදි, 24 වන වගන්තිය, ISCCS වගන්තිය 10 සහ ISCCS හි ඇමුණුම B අනුව, පහත සඳහන් ප්‍රතිවිපාක සහ නැවත පිහිටුවීමේ කොන්දේසි ශ්‍රී ලංකා NADO මත පනවනු ලැබේ.
ශ්‍රී ලංකා NADO වෙත අදාළ වන ප්‍රතිවිපාක ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට සහාය වීම සඳහා අනෙකුත් කේත අත්සන්කරුවන්ට වෙනම සටහනක් යවනු ලැබේ.
අනුකූල නොවන කේත අත්සන් කරන්නන්
දැනට තවත් අනුකූල නොවන කේත අත්සන් කරන්නන් තුනක් ඇත, එනම් රුසියානු තහනම් උත්තේජක විරෝධී ඒජන්සිය (RUSADA), ජාත්‍යන්තර බාස්ක් පෙලෝටා සම්මේලනය (FIPV) සහ ජාත්‍යන්තර යෝග්‍යතා සහ කායවර්ධන සම්මේලනය (IFBB). මෙම කේත අත්සන් කරන්නන් සහ ඒවායේ අදාළ ප්‍රතිවිපාක පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර WADA වෙබ් අඩවියේ ‘අනුකූල නොවන අත්සන් කරන්නන්ගේ ගෝලීය ලැයිස්තුව සහ අදාළ ප්‍රතිවිපාක’ පිටුවට පිවිසෙන්න.
WADA දක්වන ඒ අදහස් මත WADA අරමුදල් නො‘එනු ඇත.ජාත්‍යන්තර ඉසව් පැවැත්වීමට ඉඩක් නැත.තහනම් උත්තේජන පරික්ෂාව සඳහා ශ්‍රී ලංකා ආයතනය වලංගු නැති නිසා යම් ආකාරයකින් ජාත්‍යන්තර සංගමයකට ක්‍රීඩා උළෙලට තහනම් උත්තේජන පරික්ෂා තිබිය යුතු බව කිවහොත් එය පැවත්වීමට නොහැකි වනු ඇත.නැතිනම් වෙනත් ආසන්න රටකින් විශාල මුදලක් වැය කර කැඳවිය යුතුය.එම විෂය සම්බන්ධයෙන් වන ගෝලීය මණ්ඩලවලින් SLADA නියෝජිතයින් තහනම් කර ඇති නිසා වෘත්තිමය වශයෙන් ද එයට අදාළව සේවයේ යෙදි අයටද ගැටළු ඇතිවන්නේය.
