මධ්‍යම තැපැල් හුවමාරුවට පොලීසිය කැඳවද්දී වැඩ වර්ජකයෝ සත්‍යග්‍රහයකුත් අරඹති!

Date:

කොළඹ LNW: නිරතව සිටින තැපැල් සේවකයින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

පසුගිය 17 වැනිදා ඉල්ලීම් 19ක් මුල්කරගෙන ආරම්භ කරන ලද වැඩවර්ජනය පස්වන දිනටත් අදත් (22) ක්‍රියාත්මක අතර මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.

පාර්සල් යැවීමට සුදානම් වන සේවකයින්ගේ රාජකාරියට එම ස්ථානයේ සිටින ඇතැම් පිරිස් බාධා කිරීම හේතුවෙනුයි එලෙස පොලීසිය කැඳවා ඇත්තේ.

වර්ජනය සම්බන්ධයෙන් රජයේ පාර්ශවය කරුණු දක්වමින් පවසා තිබුණේ ඉල්ලීම් 19න් 17ක්ම විසඳා ඇති පසුබිමක තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය ඉතාම අසාධාරණ බවයි.

එමෙන්ම ඔවුන් ඉල්ලා සිටින අතිකාල දීමනා වැඩි කිරීමට සාධාරණ ඉල්ලීමක් නොවන බවත් මේ වන විටත් එම දීමනා ඉහළ දම තිබෙන බවත් රජය පවසයි.

මේ අතර සේවයට පැමිණීම හා පිටවීම් වාර්තා කරන ඇඟිලි සළකුණ භාවිතයද වර්ජනයේ නිරත සේවකයින් ප්‍රතික්ෂේප කරමින් පසුවෙයි.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින් පවසන්නේ විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව වර්ජනය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා සහභාගි වීම ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත් ඇඟිලි සලකුණු අනිවාර්ය කිරීම සහ අතිකාල පිළිබඳ තීන්දුව කිසිසේත් හකුලා ගැනීමට රජය කටයුතු නොකරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අවධාරණය කරන ලදී.

තවද වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනය කර තිබේ.

වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබිය යුතුවන අතර වර්ජනය කරන අතරතුර වැටුප් ගෙවීම සඳහා මුදල් නිකුත් කිරීමක් නොකරන බව දැනුම් දී ඇති බව සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව සේවයට වාර්තා කළ අයට පමණක් වැටුප් ලැබීමට ඉඩ ඇති හෙයින් අද සිට සේවයට වාර්තා කරන ලෙස වර්ජනයේ යෙදී සිටින අයට දැනුම් දෙන බවයි සත්කුමාර මහතා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...