හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

Date:

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව සම්බන්ධයෙන් අද (18) නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද (18) කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු දෙදෙනෙකුගේ තනතුරු පුරප්පාඩු වී තිබෙන බවයි.

මෙම නඩුව විභාග කිරීම සඳහා නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් ඉදිරිපත් කළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.

ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම නඩුව වෙනත් දිනයක කැඳවන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ එම දැනුම්දීම සටහන් කරගත් විනිසුරුවරයා මෙම නඩුව යළි ඔක්තෝම්බර් මස 23 වනදා කැඳවන ලෙස නියම කරන ලදී.

2019 වසරේ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

මීට පෙර මෙම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් දෙදෙනා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට නියම කළ අතර අනතුරුව එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.

එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබුණේ විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ මඩුල්ල ගනු ලැබූ තීරණය නිවැරදි නොවන බවයි. ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තිවාචකය කැඳවා අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...