සුරංග වෙල්ලාලගේ: ‘ව්‍යාපාරය වෙන කෙනෙකුට භාර දීලා දුනිත්ගේ ක්‍රිකට් වෙනුවෙන් ම කැප වෙලා හිටියා’

Date:

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super Four වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීම ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සතුටට හේතු වුව ද, ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට දුක්ඛදායක පුවතක් ද ඊයේ (සැප්: 18) වාර්තා විය.

ඒ, දුනිත් වෙල්ලාලගේගේ පියා වූ සුරංග වෙල්ලාලගේ හෘදයාබාධයකින් මිය යාමේ පුවත යි.

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වූ බව සමීපතමයෝ පවසති.

මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු

ඊයේ (18) රාත්‍රියේ පැවති ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ක්‍රිකට් තරගය රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී හදිසියේ පපුව අල්ලාගෙන දන ගසාගෙන බිම වාඩි වී තිබූ බවත්, ඉන්පසු ඔහුගේ බිරිඳ හර්ෂණී වෙල්ලාලගේ විසින් පානදුර මූලික රෝහලට රැගෙන එනු ලැබූ බවත් රෝහල් ප්‍රකාශකයෙකු අපගේ ප්‍රාදේශීය වාර්තාකරුට පවසා තිබිණි.

ඔහු ප්‍රකාශ කළේ, පානදුර රෝහලට ඇතුළත් කරන විටත් සුරංග වෙල්ලාලගේ මියගොස් සිට ඇති බව ය.

දීර්ඝ කාලීන රෝගී තත්ත්වයකින් පෙළුණු සුරංග වෙල්ලාලගේ මරණයට පත්ව ඇත්තේ, හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බව මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් පැවසීය.

පානදුර මූලික රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය මුදිත කුඩාගම විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව දන්වා ඇතැයි මොරටුව හදිසි මරණ පරීක්ෂකවරයා පැවසීය.

ඔහු දීර්ඝ කාලීනව අධික රුධිර පීඩන රෝගී තත්ත්වය මත ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, ක්‍රිකට් තරගය නරඹමින් සිටීම මරණයට හේතු වූ බවට පවුලේ සාක්ෂිවලින් අනාවරණය නොවන බවත් ඔහු පැවසීය.

දුනිත්ට මරණය ගැන දැනුම් දීම

ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත් අතර, තරගයෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරියෙකු පැමිණ ක්‍රීඩාංගණයේදී ම දුනිත්ට ඔහුගේ පියාගේ අභාවය පිළිබඳව දැනුම් දුන් ආකාරය දර්ශනවල දැකිය හැකි විය.

පසුව, දුනිත් වෙල්ලාලගේ අද (සැප්: 19) පෙරවරුවේ යළි මෙරටට පැමිණියේ ය.

දිවයිනට පැමිණි ඔහු සිය පියාගේ දේහය බැලීම සඳහා පානදුර මහ රෝහල වෙත ගියේ ය.

පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර මහ රෝහලේදී පැවැත්විණි.

සුරංග වෙල්ලාලගේ යනු කවුද?

සුරංග වෙල්ලාලගේ, දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂණී වෙල්ලාලගේ

1974 වසරේදී උපත ලැබූ සුරංග වෙල්ලාලගේ මිය යන විට 51 වන වියේ පසු විය.

ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔහු 1992 වසරේ වේල්ස් කුමර විද්‍යාලයේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, කණ්ඩායමේ කඩුලු රකින්නා සහ පිතිකරුවෙකු ලෙස කටයුතු කළේ ය.

ඔහු පුතුන් තිදෙනෙකුගේ පියෙකි.

සුරංග වෙල්ලාලගේ 1992/93 වසරවල මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය - පුවත්පත් ලිපියක්
ඡායාරූප ශීර්ෂ වැකිය,සුරංග වෙල්ලාලගේ 1992/93 වසරවල මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීය

‘දුනිත් ඔය තැනට ගේන්න සුරංග හැම කැප කිරීමක් ම කළා’

දුනිත් වෙල්ලාලගේ කුඩා කල සිට පිතිකරණය පුහුණුවීම සඳහා හොරේතුඩුව සචින් ක්‍රිකට් ඇකඩමියට පැමිණියේ ය.

ඔහුට පිතිකරණය පුහුණු වීම සඳහා පන්දු යොමු කළේ, එහි හිමිකරු වන සිරිල් පෙරේරා දුනිත්ගේ පියා ද සමීපව ඇසුරු කළ අයෙකි.

ඔහු සුරංග වෙල්ලාලගේ පිළිබඳව තමන් සතුව ඇති මතක පිළිබඳව ආවර්ජණය කළේ මෙලෙසිනි.

“දුනිත් හැම දා ම පුහුණුවීම් කරන්න ආවෙ සුරංග එක්ක. පුතාව ක්‍රිකට් තරග, පුහුණුවීම් ඔක්කොට ම අරගෙන ගියේ තාත්තා. සුරංග ව්‍යාපාරයක් කළා. ඒ ව්‍යාපාරයත් වෙන කෙනෙකුට භාර දීලා දුනිත්ගේ ක්‍රිකට් වෙනුවෙන් ම කැප වෙලා හිටියා. සමහර වෙලාවට දුනිත්ට බැට් කරන්න එයා පන්දු යැව්වා. දැන් එයාගෙ මල්ලිත් එනවා ක්‍රිකට් පුහුණුවීම්වලට. දවස් කීපයකට කලිනුත් බාල පුතා එක්ක සුරංග ඇවිත් ගියා.”

දුනිත් වෙල්ලාලගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරුණු අවස්ථාවේ ඔහුගේ පියා අතිශයින් සතුටට පත්වූ බව ද සිරිල් පෙරේරා පැවසීය.

“දුනිත් නැෂනල් ටීම් එකට තෝර ගත්තට පස්සෙ මටත් කෝල් කරල කිව්වා. අවුරුදු ගාණක එයා කරපු කැප කිරීම්වලට ප්‍රතිඵලයක් ලැබුණා කියල එයා ගොඩක් සතුටින් කතා කළා.”

සිරිල් පෙරේරාගේ පුතා සහ සුරංග වෙල්ලාලගේ සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයින් වූ අතර, සිරිල්ගේ පුතා මොරටුව ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය නියෝජනය කරද්දී, සුරංග මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ නායකත්වය දැරීය.

“දැන් මගේ මුණුපුරන් ක්‍රිකට් ගහනවා. ඒගොල්ලො ගැන ගොඩක් වදවෙලා පීඩනයක් ගන්න එපා කියල මට සුරංග නිතර උපදෙස් දුන්නා. එයා කිව්වේ මුණුපුරන්ගේ ක්‍රිකට් ගැන පීඩනයක් ගත්තොත් අසනීප වෙන්න පුළුවන් කියලා. අන්තිමට මට කලින් එයා යන්න ගියා. ගොඩක් කනගාටුයි ඒ හදිසි මරණය ගැන.”

BBC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...