සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ 85 වැනි උපන් දිනය අදට (සැප්තැම්බර් 29) යෙදී තිබේ. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.
කරූ ජයසූරිය මහතා යනු LNW අපට දීර්ඝ කාලයක් තිස්සේ අවවාද අනුශාසනා කරමින්, අප සමග කිට්ටු සබඳතාවයක් පවත්වාගෙන යන වැඩිහිටියෙකි. අපි ඒ මහතාට චිරාත් කාලයක් ආයු බොහෝ වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
ඒ මහතා ගැන කතා කිරීම සඳහා අපි ඈත අතීතයෙන් සහ මෑත අතීතයෙන් සිදුවීම් දෙකක් තෝරාගත්තෙමු.
පළමුවැන්න 1971 කැරැල්ල සමයේදී සිදුවූවකි. 1971 කැරැල්ල සමයේදී කොළඹ සිට අනුරාධපුර දක්වා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් යළි ආරම්භ කිරීම ගැටලුවක්ව පැවති මොහොතක එය භාරවූයේ කපිතාන් කරුණාරත්න ජයසූරියට ය. මේ ගමනේදී ඇතැම් ප්‍රදේශ කැරලිකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබුණු අතර ඇතැම් ප්‍රදේශවලදී දුම්රිය මාර්ගය කඩා බිඳදමා හානිකර තිබිණි. ඒ අනුව කැරලිකරුවන්ට ද මුහුණ දෙමින් දුම්රිය මාර්ගය ද අලුත්වැඩියා කරමින් මේ ගමන යා යුතුව තිබිණි. ඒ අභියෝගාත්මක ගමන සතියක් තුළ සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට කපිතාන් කරුණාරත්න ජයසූරියට හැකියාව ලැබිණි. ඉන් අනතුරුව ඔහුට භාරවූයේ නුවර එළිය ප්‍රදේශයේ කැරැල්ල මැඬපැවැත්වීමටයි.
ඔහු එහි යනවිට එහි සිටි හමුදා නිලධාරීන් ඔහුට දැනුම් දී ඇත්තේ නුවර එළියේ කැරලි නායකයා තමන්ට අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවය. කැරලි නායකයා බැලීමට තමන්ට අවශ්‍ය බව කරූ ජයසූරිය මහතා පැවසූ විට හමුදා නිලධාරීන් ඔහුව කැරලි නායකයා රදවාගෙන සිටි ස්ථානයට කැඳවාගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් කැරලි නායකයාව ඝාතනය කිරීම සඳහා වලක් කපා ඔහුව එහි බස්වා තිබී ඇත. කරූ ජයසූරිය මහතා වහාම මැදිහත්ව ඔහුව ඝාතනය කිරීම නවත්වා, ඔහුව වලෙන් ගොඩගෙන කරුණු විමසීමේදී දැනගැනීමට ලැබී ඇත්තේ එම පුද්ගලයා උපාධිධාරියෙකු බවත් ඔහුගේ දෙමව්පියන් සියලු සේසත වියදම් කර ඔහුට අධ්‍යාපනය ලබාදී ඇතත් රැකියාවක් සොයාගැනීමට නොහැකි වීම තුළ ඔහු මෙසේ කැරැල්ලට එකතු වී ඇති බවත් ය. කරූ ජයසූරිය මහතා එම කැරලිකරුවාව තම වාහනයේ නංවාගෙන තනිවම ඔහුත් රැගෙන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි පුනරුත්ථාපන කඳවුරට රැගෙනවිත් භාරදී ඇති අතර පසු කලෙක ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉහළම තනතුරක් දක්වා ගමන් කර ඇත. එම පුද්ගලයා සෑම සිංහල අලුත් අවුරුද්දකදීම බුලත් අතකුත් රැගෙනවිත් කරූ ජයසූරිය මහතාව හමුවීමේ පුරුද්දක් කරගෙන තිබිණි.
අප මේ කියන්නේ මීට වසර 15කට පමණ පෙර කරූ ජයසූරිය මහතාම LNW සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියූ දේවල් ය. වර්තමාන පරපුර මෙන්ම පැරණි පරපුරේ බොහෝ අය පවා කරූ ගැන මේ කරුණු දන්නේ නැත.
දෙවැන්න, ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් ආයතනයේ සේවය කළ අයෙකු අප සමග කී කතාවකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම එම රෝගීන්ගේ සමීප ඥාතීන්ට ද අවශ්‍ය උපකාර කරමින් විශාල සමාජ සේවයක් සිදුකරන ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් ආයතනය පිළිකාවකින් ජීවිතය හැර ගිය කරූ ජයසූරිය මහතාගේ දියණිය නමින් බිහිකෙරුණු සමාජ සත්කාරක ආයතනයකි. එහි දිනය සාමාන්‍ය වියදම රුපියල් 180,000ක් පමණ වන බව කියැවේ. ඊට බොහෝ දානපතීන්ගෙන් ආධාර ද හිමිවේ. එසේ ආධාර හිමි වුණත් නොවුණත් එම ආයතයට ඇති විශාලතම ශක්තිය වන්නේ කරූ ජයසූරිය මහතා ය. ඔහු නිරන්තයෙන් එහි පැමිණ ඉහළ මාලයට වී තම දියණිය ගැන මෙනෙහි කරමින් එහි විවිධ කටයුතුවල නිරත වන ආකාරය සුලබ දසුනකි.
මෙම “ඉන්දිරා කැන්සර් ට්‍රස්ට්” භාරය පිහිටුවීම සඳහා ආරම්භ කටයුතු සිදුකෙරෙද්දී තරමක් කුප්‍රකට ව්‍යාපාරිකයකු වශයෙන් නමක් ගිය අයෙකු ද එහි පැමිණ තිබිණි. ඒ අවස්ථාවේදී එහි සිටි අය කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇත්තේ මෙවැනි හොඳ වැඩක් කරද්දී එවැනි පුද්ගලයකු ඊට ගාවාගැනීම සුදුසු නොවන බැවින් ඔහුව පිටමං කරන ලෙස ය. එහෙත් කරූ ජයසූරිය මහතා ඉතාම සන්සුන් ලෙස ඔවුන්ට පවසා ඇත්තේ “එදා බුදු රජාණන් වහන්සේ අංගුලිමාල නරක පුද්ගලයෙකු නිසා ඔහුව පිටුදැකලා ඔහුට බණ නොකිව්වා නම් අංගුලිමාල මහ රහතන් වහන්සේ කෙනෙක් බිහිවෙන්නේ නෑ. මේ මනුස්සයා අංගුලිමාල තරම් නරක කෙනෙක් නෙවෙයිනෙ. අපිත් මේ මනුස්සයාට වැරදි කියලා ඇනගහන එක නෙවෙයි කරන්න ඕනේ. අපි මේ මනුස්සයාව හොඳ වැඩකට සම්බන්ධ කරගෙන එයාටත් ඔතනින් උඩට එන්න අවස්ථාව දෙන එකයි කරන්න ඕනේ” කියාය. එතැන සිටි පිරිසටත් ඒ කතාවෙන් පසු ඒ කාරණය වැටහී තිබුණු අතර අදාළ ව්‍යාපාරිකයාව ද ඒ පුණ්‍ය කර්මය උදෙසා දායක කරවාගෙන තිබිණි.
දේශපාලන පාට කණ්නාඩිවලින් තොරව කරූ ජයසූරිය යනු කවුද යන්න තේරුම් ගැනීම සඳහා ඉහත අප කී කතා දෙකම පමණක් වුවත් ප්‍රමාණවත් වෙනු ඇතැයි අපි සිතන්නෙමු. කරූ ජයසූරිය යනු එවැනි මිනිසෙකි.
මීට වසර හතකට පෙර පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ගසා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරවය කෙළසූ අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එවකට කථානායකවරයා වශයෙන් කරූ ජයසූරිය මහතා සූදානම් වුවත් ඔහුට ඒ කිසිවක් කිරීමට අවසානයේ නොහැකි විය. ඒ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිටින් ඩීල් දාගැනීම හේතුවෙනි. එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගැසූ ප්‍රසන්න රණවීර අද වනවිට වෙනත් චෝදනාවකට හෝ සිරගතව සිටී. එදා සිද්ධියට දඬුවම් නොලැබුණත් හැමදාමත් නීතියෙන් ගැලවීමට ඉඩක් නොමැති බව වර්තමාන ආණ්ඩුව යටතේ රටටම පෙන්නුම් කෙරෙමින් තිබේ. එය ද සාධාරණ සමාජයක් සඳහා වන කරූ ජයසූරිය මහතාගේ පැතුමට සමපාත වන්නා වූ ක්‍රියාවකි.
බලය උදෙසා අත යටින් ඩීල් දමන දේශපාලනය වෙනුවට වඩා යහපත් දේශපාලනයක් රටේ ස්ථාපිත වන්නේ නම් එහි යහපත රටේ සමස්ත අනාගත පරපුරටම ය.
ඒ සිහිනය වෙනුවෙන් නොයෙකුත් ආකාරයෙන් සිය කාලය, ශ්‍රමය, ධනය, ශක්තිය කැප කළ සැබෑ මිනිසෙකු වන කරූ ජයසූරිය මහතාට අපි නැවතත් දීර්ඝායු පතන්නෙමු. කරූ ජයසූරිය මැතිතුමනි, ඔබට සුබ උපන් දිනයක් වේවා !!
~ Team LNW
