‘පොලිස් නිලධාරීන්ගෙන් 20%ක් විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා’: ඔවුන්ට සිදුවන්නේ කුමක් ද?

0
170

පොලිස් දෙපාර්තමේන්තුවේ ‘අලුත් නිලධාරීන්ගෙන් සියයට 15-20ත් අතර පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව’ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය දා අනාවරණය කළේ ය.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ චෝදනා මත 2025 වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

‘සේවයට බඳවා ගන්න කලින් තොරතුරු සොයා බලනවා’

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විමසීමක් කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ‘අලුතෙන්’ යනුවෙන් සඳහන් කළේ පොලිසියේ සේවය කරන තරුණ නිලධාරීන් බව ය.

“අලුත් කියලා කියන්නේ පොලිසියේ ඉන්න තරුණ අය අතර මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා කියන එකයි. එහෙම නැතිව අලුතෙන් බඳවා ගන්න අයගේ කියලා නෙමෙයි. පොලිසියට බඳවා ගන්නා අයගේ ටෙස්ට් එකක් කරල යි බඳවා ගැනීමේ කටයුත්ත කරන්නේ.”

“පොලිස් සේවයට බඳවා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ පසුබිම් වාර්තා සම්බන්ධයෙන්. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය ඔවුන්ගේ පවුල්වල ඉන්නව ද එහෙම නැත්නම් ඒ වගේ සම්බන්ධකම් තිබිලා තියෙනව ද කියලා දැඩි අවධානයක් යොමු කරනවා,” අමාත්‍යවරයා පැවසුවේය.

පොලිසියේ නිලධාරියෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි නම් මොක ද වෙන්නේ?

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වන විට 80,000කට ආසන්න නිලධාරීන් පිරිසක් සේවයේ නියුතුව සිටින බවත් ඔවුන් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇත්නම් නොපමාව අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් පැවසුවේය.

“විශේෂයෙන් අපේ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරියෙකු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තොරතුරු ලැබුණොත් සිදුකරන්නේ කුමක් ද?” බීබීසී සිංහල සේවය වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත්ගෙන් විමසීමක් සිදු කරන ලදී.

එහිදී ඔහු කියා සිටියේ, එවැනි තොරතුරක් ලද වහා ම එම නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව ය.

“විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා තොරතුරු අපිට ලැබුණොත් අපි කරන පළවෙනි දේ තමයි පොලිස් රෝහල හරහා ඔහුව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ පරීක්ෂණයක් තියෙනවා විෂ මත්ද්‍රව්‍ය වර්ග 20-25ක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිලධාරියා විෂ මත්ද්‍රව්‍යවලට ඇඩික්ට් කියලා පරීක්ෂණයෙන් තහවුරු වුණොත් නිලධාරියාව සේවයෙන් අත්හිටුවනවා. ඊට පස්සේ ඔහුව සේවයෙන් ඉවත් කරනවා,” ඔහු පැවසුවේය.

මේ අතර, යම් පොලිස් නිලධාරියෙකු සේවයේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“පොලිසියේ කවුරු හරි මත්ද්‍රව්‍ය ජාවාරමේ හරි, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධකම් තියෙනවා කියලා තොරතුරු අනාවරණය වුණොත් ඒ කෙනාව කෙලින් ම අත්අඩංගුවට අර ගන්නවා. ඒ එක්ක ම ඔහුගේ සේවය අත්හිටුවලා ඉදිරි විමර්ශන සිදුකරලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම කරනවා වගේ ම විනය ක්‍රියා මාර්ග ගන්නවා,” ඔහු පැවසුවේය.

ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් පිරිසක්

මත්ද්‍රව්‍ය සමග පොලිස් නිලධාරියා අත්අඩංගුවට

හෙරොයින් සමග උඩප්පුව පොලිසියේ කොස්තාපල්වරයෙකු සහ තවත් සැකකරුවෙකු බස්නාහිර – උතුර අපරාධ කොට්ඨාසය මගින් සැප්තැම්බර් මස 30 වන දා අත්අඩංගුවට ගෙන තිබිණි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් සඳහන් කළේ සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 110ක් හමුවී ඇති බව ය.

උඩප්පුව පොලිසියේ සේවය කරන මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පැවති සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීම සඳහා කොළඹ පැමිණ ඇති බවත්, ඔහු නවාතැන් ගෙන ඇත්තේ ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසුවේය.

මෙම පොලිස් කොස්තාපල්වරයා නවාතැන්ගෙන සිටි නිවසේ හිමිකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවත්, බස්නාහිර – උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මෙහෙයුමකදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් වැඩිදුරටත් පැවසීය.

බීබීසී සිංහල