කොළඹ LNW: නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (03) ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික මඟුල් මඩුවේදී අවධාරණය කළේය.
ඒ,සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීමේ පූජෝත්සවයට එක්වෙමිනි.
කළු පාලනය අවසන් කිරීම සඳහා ආණ්ඩුව තැබූ පියවර නැවත හරවන්නේ නැති බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
සමාජයට අලුත් හර පද්ධතියක් අවශ්‍යව ඇති අතර ධනය හෝ නිලතල වත්මන් සමාජයේ උස් පහත් බව මනින තත්ත්වයට පත්ව ඇති බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.
“එක පැත්තකින් ව්‍යවස්ථාවෙන් පිහිටවූ ආණ්ඩුවක් තියෙනවා. එතරම් බලවත් නොවුණත් මතුපිට ආණ්ඩුවේ සියලු අංග සහිත කළු පාලනයකුත් අපේ රටේ තියෙනවා. නීතියානුකූල පොලීසියක් තියෙනවා. කළු පාලනයටත් පොලීසියේ කට්ටියක් ඉන්නවා. දැන් අපි ඉන්නේ ද්විත්ව ආණ්ඩුකරණයේ. එකක් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව. අනෙක අවි බලය විසින් නිර්මාණය කළ කළු පාලනය. අපි තීරණයක් ගත යුතුයි හාමුදුරුවනේ, එක්කෝ ඕන දෙයක් සිදුවුණාදේ කියලා කළු පාලනය තියෙද්දි අපේ පාලනය කරගෙන යන්න. එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල පාලනය අතහැරලා අපි හැමෝම කළු පාලනයට යන්න ඕනේ. එහෙම නැත්නම් නීත්‍යානුකූල පාලනයේ සුරක්ෂිතභාවය උදෙසා කළු පාලනය අවසන් කළ යුතුයි. මම හිතනවා අපේ ආණ්ඩුව තෝරාගත්තේ ඒ පාර. ඒ සඳහා තැබු පියවර කිසිසේත්ම ආපසු අරන් නැති බව හාමුදුරුවන් වහන්සේලාට සපථ කරලා පවසනවා. විශේෂයෙන්ම විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වගන්තිය අවශ්‍ය වන සංශෝධනය සහිත බලයන් ලබාදෙන්න කියලා ඔබවහන්සේලාගෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කරා. නැවත සංශෝධනය කරලා මහනායක උන්වහන්සේලාට ඉදිරිපත් කළා. උන්වහන්සේලාගේ අදහස් සහිතව නැවත සංශෝධනය කරමින් දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඉතා ඉක්මනින් අපි ඒ නීතිය සම්පාදනය කරලා ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එහි පවත්වාගත යුතු විනය කර්ම පවත්වා ගැනීමට නීතිමය රැකවරණය අපි විසින් ලබාදෙන්නම්.හැබැයි නීතිය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.”
ජනාධිපතිවරයා ලෙස තමන්ගේ සීමාවන් තමා හොඳින් දන්නා බවයි එහිදී අනුර කුමාර දිසානායක මහතා කියාසිටියේ.
“ජනාධිපතිවරයා ලෙස මා දන්නවා මට තියෙන සීමාවන් කවරක්ද කියලා. බොහෝ අය හිතාගෙන හිටියා මේකට සීමාවන් නෑ කියලා. ඔව් ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕනෑම වැරදිකරුවෙක් නිදහස් කරන්න පුළුවන්, ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕන තරම් රාජ්‍ය ධනය නාස්ති කරන්න පුළුවන්, ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕන තරම් මාළිගාවන් හදන්න පුළුවන් ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. ඕනෑ තරම් පුද්ගලික කාර්ය මණ්ඩලය පත්කරගත හැකියි. ව්‍යවස්ථාවේ සීමාවන් නෑ. එහෙත් විධායක ජනාධිපතිට සීමාවන් නැති වුණාට අපිට සීමාවන් තියෙනවා. ඒ නිසා අපි ඔප්පු කරමින් ඉන්නවා සමහර දේ ප්‍රායෝගිකව සීමා ඔප්පු කරන්න. ආණ්ඩුවට තමන්ට රිසි දේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්වාමින් වහන්සේලා ඉතිහාසය පුරා ඔවදන් දීලා මැදිහත් වෙලා තියෙනවා. ඒ උරුමය අපි පිළිගන්න ලෑස්තියි.”
යහපත් රාජ්‍ය සඳහා වු සිහිනය ඉටුකරගැනීමට විශාල කාර්යභාරයක් මහා සංඝයා වෙත පැවරී ඇති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
