සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී ගුවන් යානා ඉලක්ක කර ගනිමින් නව බෝම්බ තර්ජන රැල්ලක් වාර්තා වී තිබේ.
ඒ අනුව, අද(05) දිනය තුළ පමණක් ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට මෙලෙස ව්‍යාජ බෝම්බ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.
Ryanair, Wizz Air, Finnair, LOT සහ Aer Lingus ඇතුළු ගුවන් සමාගම්වල ගුවන් යානා මෙම තර්ජනවලට මුහුණ දී තිබේ. ප්‍රංශය, ඉතාලිය, බල්ගේරියාව, රුමේනියාව, බෙල්ජියම, චෙක් ජනරජය ඇතුළු රටවල් කිහිපයක ගුවන් ගමන්වලට මෙයින් බලපෑම් එල්ල වී ඇති අතර මෙම තර්ජන හේතුවෙන් ගුවන් යානා කිහිපයක් හදිසි ගොඩබෑම් සිදුකර ඇති අතර තවත් යානා කිහිපයක් විකල්ප ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ.
බෝම්බ තර්ජන හේතුවෙන් ගුවන් යානා සහ ගුවන් තොටුපළ පරිශ්‍රවල විශේෂ ආරක්ෂක පරීක්ෂණ සිදුකර තිබේ. මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී පුපුරණ ද්‍රව්‍ය හෝ සැකකටයුතු උපකරණ හමු වී නොමැති බව වාර්තා වේ.
මෙම සිදුවීම් පිටුපස සම්බන්ධීකරණය කළ කණ්ඩායමක් සිටීද යන්න පිළිබඳව ද සැක මතුව ඇති අතර යුරෝපා රටවල් කිහිපයක් මෑතකදී සයිබර් ප්‍රහාර සහ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් රුසියාවට සහ ඉරානයට චෝදනා එල්ල කර තිබුණද, මෙම බෝම්බ තර්ජනවලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
මේ අතර, සතියේ මුල් භාගයේදී ද යුරෝපය පුරා ගුවන් යානා කිහිපයකට සහ මගී නෞකාවකට බෝම්බ තර්ජන එල්ල වී තිබූ අතර, එම සිදුවීම් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වේ.

