ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිර්වචනය වන්නේ එහි නායකයින්ගෙනි. ඩී. එස්. සේනානායකගේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක දක්වා විහිදෙන දිගු අගමැතිවරුන්ගේ ලැයිස්තුවක් ඒ සඳහා සාක්ෂි දරයි. ඒ ලැයිස්තුවේ, කොතලාවල, ජයවර්ධන, රාජපක්ශ, වික්‍රමසිංහ, වික්‍රමනායක, ජයරත්න, ගුණවර්ධන යන පතාක දේශපාලාන නායකයෝද ඇතුලුත්ය.
ඒ බලවත් ලැයිස්තුවට, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පිවිසුණේ දේශපාලන දැවැන්තයෙකු ලෙස නොව, නව බලාපොරොත්තුවක සංකේතයක් ලෙසය. පැරණි ක්‍රමයෙන් වෙහෙසට පත්ව සිටි ජාතියකට ඇය විද්වත්, ක්‍රියාකාරී සහ නැවුම් මුහුණුවරක් විය.
වසරකට පෙර ඇය අගමැතිනිය ලෙස පත් කරන විට, ඇය වීරවරියක ලෙස පිළිගනු ලැබීය. ඇයගේ ආචාර්ය උපාධිය සමරමින්, සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට පාලනය ඔසවා තැබිය හැකි චරිතයක් ලෙස ඇයව දුටුවේය. බුද්ධිය සහ අවංකභාවය බලයේ නව ඒකකය වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළහ.
කාන්තාවක් හැටියට, ඇයව ආඩම්බරයෙන් මමද වැලඳ ගත්තෙමි. 1989 පසූ සැම වෙලාවකම වමට ඡන්දය දුන් මා, මෙවර මගේ ජන්දය, මාලිමාවට දුන්නේ, හරිනි අමරසුරිය වටා ගොඩනැගුණු කාන්තා සහ නව චින්තනය නිසාය. ඇගේ උගත්කම සහ නිහතමානිකම මා මෙන් දහස් ගණනක් අගය කලේ, රටට අවශ්‍ය අළුත් මුහුණු නිසා බව මගේ මතයයි. මහා මැතිවරණයේ ඇය ගත් 600,0000 ඡන්ද එයට සාක්ශි දරනු ඇත.
අද, ඒ ආරම්භක සුබවාදී බලාපොරොත්තුව, නිහඬ නමුත් නොනවතින සැකයක් බවට පත්ව තිබේ. රටේ දෙවන බලවත්ම පුටුවේ වසරක් ගත කිරීමෙන් අනතුරුව, ආචාර්ය අමරසූරිය තමන් වඩ වඩාත් හුදෙකලා වෙමින් සිටින බව වටහාගෙන ඇත. ආරම්භක ප්‍රශංසාව වෙනුවට අද ඇත්තේ, ඇයගේ අකාර්යක්ෂමතාව පිළිබඳව පැතිර යන කතා සහ උපහාසයයි. ඊටත් වඩා කණගාටුදායක දෙය නම්, ඇය විවේචනයට ලක්වන විට, ඇයගේම කැබිනට් සගයන්ගෙන් නැගෙන නිහඬතාවයයි. කිසිවෙකු ඇයව ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවේ.
කාන්‍තාවක් හැටියට ඇයට නගෙන අවලාද වලට පෞද්ගලිකව කැමති නොවුනත්, චන්ද්‍රිකාලා, රෝසිලා, පවිත්‍රාලා, ඩයනලා, රෝහිනීලා ඇතුළු සෑම කාන්තාවක්ම මෙවැනි දේශපාලන ප්‍රහාරවලට මුහුණ දුන් බව මතක් කල යුතුය. නමුත්, ඒ හැම මොහොතකම, ඒ කාන්තාවන් වෙනුවෙන් පෙනීහිටින්නට පිරිමි හිටියාය. නමුත්, හරිනි තනිවීම, කාන්තාවක් හැටියට මම කනගාටු වෙමි.
මෙම තත්ත්වයේ ඇති පරස්පර විරෝධය නම්, අගමැතිනියගේ පෞද්ගලික අවංකභාවය නොකිලිටිව පැවතීමයි. නිරන්තරයෙන් අපවාදවලින් කැළැල් වන දේශපාලන භූමියක, ඇයගේ වාර්තාව කිසිදු දූෂණ චෝදනාවකින් තොරය. සියලු වාර්තාවලට අනුව, ඇය අවංක චරිතයකි. එසේනම්, ඇය එතරම් පිරිසිදු චරිතයක් නම්, ඇය මෙතරම් විවේචනයට සහ හුදෙකලා වීමට හේතුව කුමක්ද?
පිළිතුර රැඳී ඇත්තේ චරිතයේ දුර්වලතාවයක නොව, දක්ෂතා සහ තනතුර අතර ඇති නොගැළපීම තුළ විය හැකිය. විශිෂ්ට විද්වතෙකු සහ ගෞරවනීය ක්‍රියාකාරිකයෙකු බවට පත් කරන ගුණාංග, ගැඹුරු විශ්ලේෂණය, සූක්ෂම ප්‍රතිපත්තිමය සංවාද, සැමවිටම දේශපාලන පරිපාලනයේ කටුක යථාර්ථයට ගැළපෙන්නේ නැත.
ව්‍යාකූල අවස්ථාවන් කළමනාකරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට පෞද්ගලිකවම මැදිහත් වීමට සිදුවන රටාවක් නිරීක්ෂකයින් පෙන්වා දෙන අතර, එය ප්‍රතිපත්තිමය පරමාදර්ශ සහ භූමියේ යථාර්ථය අතර ඇති පරතරය පෙන්නුම් කරයි.
අගමැතිනී අමරසූරිය දැන් සිටින්නේ ගැඹුරු ආත්ම ශෝධනයක් අවශ්‍ය කරන තීරණාත්මක මංසන්ධියකය. දිගටම මෙම තනතුරේ රැඳී සිටීම යනු, ඇයට ජය ගැනීමට අපහසු වී ඇති මතයකට එරෙහිව නිරන්තර සටනක නිරත වීමයි.
අනෙක් විකල්පය, ගෞරවනීය නික්ම යාමේ මාවතයි. සැබෑ නායකත්වය යනු බලයේ එල්ලී සිටීම පමණක් නොවේ. එය, රටට වඩාත්ම අවශ්‍ය කුමක්දැයි තේරුම් ගෙන, ඒ වෙනුවෙන් තීරණ ගැනීමයි. ගෞරවනීය නික්ම යෑමක් යනු අසාර්ථකත්වය පිළිගැනීමක් නොව, තමන්ගේ පෞද්ගලික තනතුරට වඩා රටේ අවශ්‍යතා ඉහළින් තැබීම නම් වූ උදාර සේවයකි. ඇයගේ තත්ත්වය පිළිබඳ සත්‍යය සහ ඉදිරි මාවත, ඇයට පමණක් සොයාගත හැකි දෙයකි
සකුන්තලා කුළතුංග
