නියෝජ්‍ය පරිසර අමාත්‍යවරයා සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික පරිසර ක්‍රියාකාරීන්ගේ හමුවෙන් පසුව එක්සත් රාජධානි – ශ්‍රී ලංකා පරිසර කමිටුවක්!

0
357

ජාතික ජන බලවේගය (NPP) එක්සත් රාජධානියේ කමිටුව 2025 ඔක්තෝබර් 14 වැනිදා ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පාරිසරික අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ටන් ජයකොඩි මහතා සහ එක්සත් රාජධානියේ පදනම්ව සිටින පාරිසරික ක්‍රියාකාරීන්, විද්වතුන් සහ සංරක්ෂණයට කැපවූ පුද්ගලයන් සමඟ සාකච්ඡාවක් එසෙක්ස් ප්‍රාන්තයේ රෙඩ්බ්‍රිජ් නගරයේදී පවත්වන ලදී.

මෙහිදී කථාකල අමාත්‍ය ජයකොඩි මහතා ශ්‍රී ලංකාවේ වත්මන් සහ අනාගත පාරිසරික ප්‍රමුඛතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය. සාකච්ඡා වූ ප්‍රධාන මාතෘකා අතර වනාන්තර විනාශය, ජීව විවිධත්වය ආරක්ෂා කිරීම, අලි සංරක්ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ජල පිරිපහදු කිරීම, සනීපාරක්ෂාව සහ අපද්‍රව්‍ය කළමනාකරණය යනාදිය ඇතුළත් විය. මෙම රැස්වීමේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ පාරිසරික උපායමාර්ග, ආර්ථික ප්‍රතිපත්තිවලට ගලපෙන ආකාරය පැහැදිලි කිරීමත්, ජාත්‍යන්තර හවුල්කාරීත්ව සඳහා ඇති අවස්ථා විමර්ශනය කිරීමත් ය.

රැස්වීමට සහභාගිවූ පාර්ශ්වයන් ජාජබ රජයේ පාරිසරික ප්‍රතිපත්ති පිළිබඳව සහය දැක්වූ අතර, විනිවිදභාවය සහ දූෂණය වැළැක්වීමට ඇති කැපවීම හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය වැඩිවී තිබෙන බවද කීහ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ වනජීවි සහ පාරිසරික ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර පරිසර කණ්ඩායම් පිහිටුවීමට හොඳ පදනමක් වන බවද ඔවුන් පෙන්වාදුන්හ.

සාකච්ඡා වල ප්‍රථිඵලයක් ලෙස එක්සත් රාජධානියෙහි ජීවත් වන ශ්‍රී ලාංකික පරිසර ක්‍රියාකාරීන්ගෙන් සැදුම්ලත් පරිසර කමිටුවක් පිහිටවූ අතර, ශ්‍රී ලංකා රජය සහ ගෝලීය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සබඳතා ශක්තිමත් කිිකිරීමටත් එක්සත් රාජධානියේ පරිසර විද්වතුන් සමග සහයෝගිතාව ඇතිකිරීමටත් තීරණය විය.