කොළඹ LNW: වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ඝාතනය සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැදින්වෙන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තාගේ කල්ලිය විසින් සිදුකර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මේ වන විට මිදිගම රුවන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර ලසන්ත වික්‍රමසේකර නොහොත් මිදිගම ලසා සමඟ කලක පටන් පැවති කෝන්තරයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව පැවති ගැටුම්කාරී තත්ත්වය මෙම ඝාතනයට මුල් වී ඇති බවත් කලක පටන් එම ආරවුල් පැවති බවත් සඳහන්.
ඝාතනයට ලක්වූ වැලිගම සභාපතිවරයා නඳුන් චින්තක නොහොත් හරක් කටා සමඟද සමීප සම්බන්ධයක් තිබී ඇති අතර මිදිගම රුවන්ද හරක් කටාගේ සමීපතමයෙක් වෙයි.
ඒ අනුව මොවුන් සියලු දෙනාම කලක් එකට කටයුතු කර ඇති අතර ඇතිවූ අමනාපකම් හේතුවෙන් වෙන් වී කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමඟි ජන බලවේගයෙන් ඉදිරිපත්ව අනතුරුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්විය.
අද පෙරවරුවේ සිදුවූ වැලිගම සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ද අදහස් දක්වා සිටියේය.
අමාත්‍යවරයා පැවසුවේ වැලිගම සභාපතිවරයා පාතාල අපරාධකරුවෙක් බවයි.
”වැලිගම සභාපතිතුමා, ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත්වුණාට මෙයා පාතාල අපරාධකරුවෙක්. නඩු හයක් තියෙනවා. මාතර මහාධිකරණයේ දෙකක් තිබෙනවා. කුරුණෑගල මහාධිකරණයේ නඩු දෙකක් තියෙනවා. ගාල්ලේ තියෙනවා. සිරදඬුවම් ලබලා තියෙනවා. අත්හිටවූ සිරදඬුවම් මත ඉන්නේ. විශේෂයෙන් පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි. ඉන්දුනීසියාවේදී රැගෙනවිත් ඉන්නවා සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනෙක්. ඔවුන් කරන ප්‍රකාශ හරහා මොහු සතුව අවි ආයුධ තිබෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. විමර්ශන දිගටම පැවැත්වෙමින් තිබෙනවා. පහුගිය 6/27 දිනත් ඔහු උසාවියට ගිහින් තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් බවට අධිකරණයේ නඩුවක් තියෙනවා. මේ විදිහට පාතාල අපරාධකරුවන් අතර ආරවුල් ඇති වීම පහුගිය කාලයේ තිබුණා එවැනි ආරවුලක් තමයි මේක.”
කෙසේවෙතත් මිනිස් ජීවිතවල වටිනාකම අගයන ආණ්ඩුවක් ලෙස පාතාලයේ හෝ වෙනත් පුද්ගලයෙක් මෙලෙස ඝාතනය වීම අනුමත නොකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිද්ධ කරන බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

