මෙරට වැඩිම ජනගහනය බස්නාහිර පළාතෙන්:එය මුලු ජනගහනයෙන්  28. 1%ක්

Colombo Sri Lanka skyline cityscape photo. Sunset in Colombo with views over the biggest city in Sri Lanka island. Urban views of buildings and the Laccadive Sea

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW :

2024 ජන හා නිවාස සංගණන වාර්තාව එළිදක්වා ඇත. ඒ අනුව මෙරට සමස්ත ජනගහනය 21,763,170ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව 2012 ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ මුල් ජන ගහනයට වඩා මෙවර ජන ගහනය 143,771 ක වැඩිවීමක් එමඟින් අනාවරණය වී ඇත.

ඒ අනුව වැඩිම ජනගහනයක් සිටින්නේ බස්නාහිර පළාතේයි. එය මුලු ජනගහනයෙන්  28. 1%ක්.  5. 3%ක් වූ අවම ජනගහනය පදිංචිව සිටින්නේ උතුරු පළාතේයි. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයේයි. එම සංඛ්‍යාව 2,433,685ක්. ඉන්පසු වැඩිම ජනගහනයක් සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේයි.එම සංඛ්‍යාව 2,374,461ක්. කෙසේවෙතත් වර්ග කිලෝ මීටරයකට පුද්ගලයින් 3,549ක් වූ වැඩිම ජනගහන ඝණත්වයක් ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේයි.


මෙම සංගණනයේදී අනාවරණය වූ තොරතුරු අතරින් මේ වන විට කාගේත් කතාබහට ලක්ව ඇත්තේ “පුමිතිරි අනුපාතය” හෙවත් ස්ත්‍රී – පුරුෂ අනුපාතයයි. එසේත් නැතිනම් සෑම කාන්තාවන් සියදෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාවයි. නවතම සංගණනයේදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් සිය දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93ක් බවයි.

2001 – 2012 කාලය සැලකීමේදී මෙරට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික අනුපාතය 0.7% කි. කෙසේවෙතත් 2012 – 2024 කාලය සැලකූ විට මෙරට ජන ගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය 0.5% ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය අඩු වුවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බවයි.