ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ” කුෂ්” මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW:

අද (29) දින උදෑසන ,රුපියල් විසි කෝටි හැට අට ලක්ෂ හතලිස් දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අද (29)  දින උදෑසන 07.50 ට පමණ මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඒවා ඉන්දියාවේ මුම්බායි නුවර වෙත ගෙනැවිත්, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.ඔවුන් අතරින් දෙදෙනෙකු කාන්තාවන් වන අතර බොරැල්ල සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියන්වේ, අනෙක් දෙදෙනා පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් දෙමටගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇසුරුම් 20 ක් තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 684 ක ප්‍රමාණය සඟවා ගෙන සිටි බවත්, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ තොරතුරක් මත නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අද (29)  දින මෙම ගුවන් මගීන් සිව් දෙනා සහ ඔවුන් රැගෙන ආ ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.