මේ ආණ්ඩුව ඉදිරියට යන්නෙ රිවර්ස් එකේ !

Date:

උපාලි කොළඹගේ

කොළඹ LNW:6 ශ්‍රේණියේ සිට ආරම්භ කිරීමට සිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වසරකින් කල් දමා තිබේ. වසරකින් කිව්වට සදා කාලයට යන්න තවම කිව නොහැක. කෙසේ වුවත් පළවෙනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය එලෙසින්ම සිදු කරන බව ආණ්ඩුව පවසයි. ආණ්ඩුවේ මෙම තීරණයෙන් සුළු වේලාවකට පසු ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශද සිය සත්‍යග්‍රහය අත් හළේය. විමල්ලා කියන්නේ සිය සටන නිසා ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත් බවය. නමුත් ඇත්ත නම් විමල්ගේ විරෝධය නිසා නොව සංඝ රත්නය ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ බලවත් පිරිසකගේ විරෝධය නිසා මෙසේ ආණ්ඩුව පියවරක් පසු පසට ගත් බවය.

ඇත්ත වශයෙන් මෙම තීරණය ද පරාජයක් ලෙසය මා දකින්නේ. මෙය හරිනි අමරසූරිය පාවා දීමක් ලෙසද කෙනකුට හඳුන්වා දිය හැකිය. අධ්‍යාපන ඇමතිතුමිය වෙනත් පාර්ශවයන් සමග සාකච්ඡා කරමින් නිසියාකාරව කටයුුතු සිදු කළේ නම් මෙම තීරණය පසුපසට ගැනීමේ අවශ්‍යතාවක් පැනනොනගින බවද මේ තීරණය ව්‍යංගයෙන් ඉඟි කරයි.

එසේම මෙවැනි තීරණයකට එළඹීම ආණ්ඩුව කළ තවත් එක් මෝඩකමක් ලෙසද හැඳින්විය හැක. මෙහි නරක මෙවැනි නිවට නියාළු තීන්දු නිසා ඇතැම් ආගමික නායකයන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා විපක්ෂ දේශපාලන කණ්ඩායම් ගෝනි නැතුව ආණ්ඩුවේ කරේ යෑමට උත්සාහ කිරීම ඉදිරියේ දැක බලා ගැනීමට හැකි වනු ඇත. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව නිසි පරිදි සාකච්ඡා නොකළාය යන්න ද එතරම් ගණන් ගත යුතු නැත. ඕනෑම යෝජනාවලියක් සාකච්ඡාවට බඳුන් කරනවාය යනු කිසියම් පිළිගත් පිරිසක් සමග සාකච්ඡා කිරීමය. අධ්‍යාපනඥයන්,ගුරු වෘත්තිකයන් හා දෙමවුපියන් ද සිසු දරුවන් ද සමග සාකච්ඡා කළ බව අධ්‍යාපන ඇමතිතුමිය ද වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කිහිපවිටක්ම පවසා තිබේ. ජාන වලින්ම එන සෑහීමකට පත් නොවීමේ රෝගයෙන් පෙළෙන බුද්ධිමත් සමාජයට මෙය ප්‍රමාණවත් නැත. ඔවුනට ඕනෑ තමා හෝ තම කණ්ඩායමට මූලිකත්වය හිමිවන ක්‍රමයකි. මෙම තත්ත්වය ආණ්ඩුවකට එතරම් හිතකර වන්නේ නැත. මෙයින් අදහස් වන්නේ ආණ්ඩුවක් ජනතා මතයට ජනතා විරෝධයට කන් නොදිය යුතු යැයි කියා නොවේ. දරමිටි බැඳීමට ගන්නා තරමට ඔතෑනි නොවිය යුතුය යන්නය (මෙය බෞද්ධ සාහිත්‍යය යෙහි එන කතාවකි).

කෙසේ වුවත් ආණ්ඩුවේ රිවර්ස් කිරීම නම් ජනාධිපති අනුරගේ පමණක් නොව මුළු ආණ්ඩුවේම පෞර්ෂයට බාධාවකි. අධ්‍යාපන අංශයේ නම් මෙම තත්ත්වය ඉතා කණගාටුදායකය. හරිනි අධ්‍යාපන ඇමති වූ මුල් කාලයේ මට මතකයි ඇය බස්නාහිර පළාතේ ටියුෂන් පිළිබඳව වැදගත් තීරණයක් ගත්තා. එයද හැරෙන තැපෑලෙන්ම ඉවත් කර ගැනීමට ඇයට සිදුවිය. ඉන් පසුව ගුරුවරුන්ට සිසුවන්ට දඬුවම් කිරීම තහනම් කෙරෙන නව රෙගුලාසි ගෙනාවාය. එයද ලත් තැනම ලොප්විය. ජාත්‍යන්තර ප්‍රමිතීන් ට අනුකූලව සැකසුණු එම නීතීන්ද අධ්‍යාපන ප්‍රවර්ධනයට මිස පසුගාමිත්වයට තුඩු දෙන ඒවා නොවේ.

නව ප්‍රතිසංස්කරණ ඉදිරියට එනුයේ ඉන් පසුවය. මෙහිදී ආණ්ඩුව සමහර විට කියයි සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට ඉදියේදී ක්‍රියාත්මක කරන බව. ඒවා වැල් බයිලා මිස ඉන් එහා දේවල් වන්නේ නැත. සාරය උරා බිව් ප්‍රතිසංස්කරණයකින් කාටවත් පලක් වන්නේද නැත. රට ගිලගෙන ඇති ටියුෂන් මාපියාව පිළිබඳව මේ භික්ෂු වහන්සේ හෝ ගුරු වෘත්තීය සංගම් කට අරින්නේවත් නැත. මෙම තත්ත්වය හරිම සෝචනීය ය.

මීළඟට ඔවුන්ගේ ඉලක්කය වනු ඇත්තේ හරිනි අධ්‍යාපන ඇමති කමින් හෝ අගමැති කමෙන් එළවා දැමීමය. එමෙන්ම මා මෙම සංවාදයේ දී දුටු අනෙක් විශේෂිත කරුණ නම් සිල්ලර චෝදනා හැරෙන්නට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ඉවත් කළයුතු කරුණු මොනවාද යන්න කීමට බොහෝ දෙනකු අසමත් වීමය. ගිරා පෝතක විරෝධයක් මිස ඉන් එහාට ගිය හරවත් සංවාදයකට සූදානම් නැති බවක්ද නිරීක්ෂණය වේ. හරිනිගේ කාන්තාකමටද ඇතැමුන් ඉතා නින්දිත අයුරින් අපහාස උපහාස කරනු දක්නට ලැබෙයි. මේ සියල්ලෙහි යට දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන බව අපට නම් රහසක් නොවේ. ආණ්ඩුව එය හරි හැටි තේරුම් ගෙන තිබේද යන්න ගැටලු සහගතය.

මේ අතර පැත්ත ගියත් ඇත්ත කියන ලාල්කාන්තගේ ප්‍රකාශයක්ද ඇවි ලෙන ගින්නට පිදුරු දැමීමක් වී තිබේ. කෙසේ වුවත් ආණ්ඩුවට තවත් එක් කරුණක් මතක් කර දිය යුතුය. එනම් ජනාධිපති අනුර හා ඇමති නඩය දිනපතා පන්සලක් ගානේ ගියත් භික්ෂූන් වහන්සේ ගෙන් බහුතරය තීරණාත්මක අවස්ථාවකදී ගන්නේ තමනට වඩා පහසුවෙන් අනන්‍ය විය හැකි රාජපක්ෂ පාර්ශවයයේ සිහින කුමරාගේ පැත්තය.

ඔය වැනෙන සුළු ප්‍රතිපත්තිය වෙනස් නොකළොත් වැටුණු සිංහයාට නරින්ගෙන් සිදු වූ අතවරය අනුරටත් ආණ්ඩුවටත් විඳීමට සිදුවන බව සිකුරුය.

ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ගැන කතා කරන්නෙ. ඒ වුණාට රනිල් වික්‍රමසිංහලගෙ කාලෙ හදපු ප්‍රතිසංස්කරණ කියල ගරහනව. රනිල්ගෙ, චන්ද්‍රිකාගෙ හරිනිගෙ ඔය කාගෙත් අධ්‍යාපන යෝජනාවල සමානකම් තිබිය හැකියි. එය සාමාන්‍ය ස්වභාවික සංසිද්ධියක්. ඒවා සියල්ල සලකා බලල තමයි අලුත් එකක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැතිව ඒවයේ තිබුණු කරුණු ගෑවිලාවත් නැති එකක් හදන්න කාටවත් බෑ. එහෙම ඉල්ලන එකත් මුග්ධකමක්. ජාතික ප්‍රතිපත්ති හදනව නම් ලිං මැඩි ප්‍රතිපත්ති හදල බෑ.

නව ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව ද තත්ත්වය ඔහොමයි. ලාල් විජේනායක මහත්තේල නවත්තපු තැනින් පටන් ගන්නවනම් තමයි නිවැරදි. කොහොම වුණත් අපි නම් බලා ගෙන ඉන්නව ගුරු සංගම් මහත්වරුන්ගෙ, ගරුතර මහා සංඝයා වහන්සේලාගේ යෝජනා මොනවද කියල .

අනේ කාලෙ වනේ වාසෙ!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට...

ජනාධිපති අරමුදලෙන් තවත් සේවාවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : ඉකුත් දා දිට්වා...

මුඛ සෞඛ්‍යයට හොඳ කලදසාවක් පෙන්වන “Arginine” වල බලපෑම!

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ස්වභාවිකව ඇති වන...

පිතිකරණයෙන් අලු වුණ අළු පන්දුවෙන් යළි නැගිටියි

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ජාතික...