ජාතික ජන බලවේගය ආණ්ඩුව අවංකව ගෙනයාමට අතිමහත් උත්සාහයක් දරන බව ප්‍රත්‍යක්ෂ කාරණයකි. එහෙත් ඔවුන්ට රාජ්‍යය ගෙන යෑමට සිදුව තිබෙන්නේ අතිශයින්ම අසාධාරණ කොන්දේසි රැසක් මධ්‍යයේය.
වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණය යනු මුළුමනින්ම පාහේ මේ රටෙහි ප්‍රභූ තන්ත්‍රය විසින් මෙතෙක් ගෙනගිය පාලනය පෙරළා දැමූවකි. එය විප්ලවයක් නොවුණත් විප්ලවයකින් පසු ප්‍රතිවිප්ලවය එනවා සේ වර්තමාන ආණ්ඩුවට අභිමුඛ වී තිබෙන්නේ රාජ්‍යය යථාවත් කර ඉදිරියට ගෙන යාමට එරෙහි බාධා පැමිණවීම්ය.
එම බාධා ප්‍රභූ පන්තියෙන් සෘජුවම එල්ල වෙමින් තිබෙන අතර අනෙක් අතට එම පන්තියේ අන්තේවාසික කොටස් විසින් තැනින් තැන සිදුකරන ගරිල්ලා ප්‍රවර්ගයේ ප්‍රහාරයන්ද මෙහිදී දැක්ක හැකිය. රාජ්‍යයේ කටයුතු ගෙන යාමට එරෙහිව රටේ ඉහළම ආයතන පද්ධතිය තුළින් මතුවමින් තිබෙන බාධක යැයි පෙනෙන මුත් විනිශ්චය කළ නොහැකි මට්ටමේ බාධා කිරීම් පසෙකින් සිදුවන විට අනෙක් අතට ප්‍රභූ පන්තියේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කිරීමේ වගකීම බාරගෙන සිටින ආණ්ඩු විරෝධී යූ ටියුබ් බලකාය සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ‘ආණ්ඩුවට නොහැකිය’ යන අදහස සමාජගත කිරීමට යත්න දරනු පෙනේ.
නීතිපතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාපන්න තත්ත්වය රාජ්‍යය යථාවත්ව ගෙන යාම පිළිබඳ කාරණයට ඍජුව ගැට ගැසී තිබෙන අතර මීළඟ පියවරේදී එය ආණ්ඩුව ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත්විය හැකිය.එය සිදුවන්නේ කඩිනමින් අවසන් කළ හැකි බව කියන අපරාධ පිළිබඳ නඩු පැවරීමේ කටයුතු අනවශ්‍ය පරිදි කල්යාම මගින් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට අහිතකර කාරණයක් ලෙස බලපාන්නට ඉඩ තිබෙන තත්ත්වය තුළය.
ජනවාරි 21 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවට එක් වූ සිවිල් සංවිධාන ඇතුළු පිරිස් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාදය ගැන දැක්වූ විරෝධය හා අදහස් පළ කිරීම් ඉතා නිවැරදිය. ප්‍රශ්නය වන්නේ එම කටයුතු කඩිනම් කර ගැනීමට ආණ්ඩුවට හැකිවේද යන්නය. රාජ්‍යයේ කටයුතු යථාවත්ව ඉදිරියට ගෙනයාම පිළිබඳව එන්.පී.පී ආණ්ඩුවේ යාන්ත්‍රණයට එල්ල කෙරෙමින් තිබෙන බාධාව මැඩලිය හැක්කේ කෙසේද? ආණ්ඩු හිතවාදී ඇතැම් පිරිස් කියන්නේ නීතිපතිවරයා බාධකයක් නම් පාර්ලිමේන්තුවෙන් ගෙන එන දෝශාභියෝගයක් හරහා නීත්‍යානුකූල ක්‍රමවේදය පාවිච්චි කොට ඔහු තනතුරෙන් ඉවත් කළ යුතු බවය. එය කළ හැක්කේ නීතිපතිවරයාට එරෙහිව බලවත් විෂමාචාර චෝදනා එකක් හෝ කිහිපයක් ඔප්පු කිරීමෙන් පමණි. නඩු කටයුතු ප්‍රමාද කිරීම නිශ්චිතව ඔප්පු කළ හැකි විෂමාචාර චෝදනාවක් නොවන බැවින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස පල කරන අදහස් අනුයමින් මේ මොහොතේ ආණ්ඩුවට ක්‍රියාත්මක විය නොහැකිය. හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව විෂමාචාර චෝදනා තිබුණු බැවින් නෙරපා හැරීම පහසුවෙන් කළ හැකි විය.
විධායක බලය සමග තුනෙන් දෙකකට අධික බහුතර පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුව සතු වුවත් පරිවේශනීය සාක්ෂි මත ක්‍රියාත්මක කරන ක්‍රමවේදයකින් මෙපිට පිළිතුරක් මේ ප්‍රශ්නයට නැත.
අනෙක් අතට විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කී කතාව මතකයට නගා ගත හැකිය. එකී තනතුරට සුදුසුකම් ඇති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරින් දෙදෙනකු සහ බාහිර නිලධාරීන් දෙදෙනකු ජනාධිපතිවරයා විසින් යෝජනා කර යවන ලද නමුත් ඒ නම් සියල්ල ප්‍රතික්ෂේප වූ බව ඔහු කීවේය. එසේ වන්නේ රාජ්‍යයේ කටයුතුවලට සැලසුම් සහගතව කරන බාධාවක් නිසා දැයි යන ප්‍රශ්නය නගන්නට සිදුවෙයි. අනෙක් අතට එම තනතුරට ජනාධිපතිවරයාගේ හිතවතකු පත්කර ගැනීමේ ප්‍රයත්නයක් පිළිබඳ චෝදනාවක් නැගෙන නමුත් ජනාධිපතිවරයා විසින් නම්කර යවන ලද සුදුසුකම් ඇති අය පත් නොකළේ මන්ද යන්න පිළිබඳව ව්‍යස්ථා සභාව අදහසක් පළකර නැත. ව්‍යවස්ථා සභාව යනු එවැනි ප්‍රකාශයක් කරන ආයතනයක් නොවන නමුත් මේ පිළිබඳව සත්‍ය තත්ත්වය පොදු ජනයා දැන ගැනීම වැදගත්ය.
නැතහොත් සමාජගත වනු ඇත්තේ වර්තමාන ආණ්ඩුවත් ලැදියාවන් පෙරදැරිව වැඩ කරන බවය. නීතිපතිවරයා සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුර වන්නේ ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැවූ පිළිකුල් සහගත ක්‍රමයට ආණ්ඩුවක් ක්‍රියා කිරීම නොවේ. කාලය ගත කොට හෝ මජර දේශපාලන හා නිලධාරි සංස්කෘතියෙන් රටත් එහි ආයතන පද්ධතියත් මුදාගැනීමය. ප්‍රශ්නය වන්නේ ඒ සා හෙමින් ගමනකට රටේ පොදු ජනතාවට ඉවසුමක් තිබේද යන්නය.
රාජ්‍ය බලය
රාජ්‍ය බලය ලබා ගැනීම යනු රට තුළ Deep State තත්ත්වයක් ඇති කිරීම නොවේ. එනම් බුද්ධි හා මිලිටරිමය ව්‍යාපාරයකට යටි බිම් ගත අරුතකින් දේශපාලන නායකත්වය දීම නොවේ. මූලික වශයෙන් අත්‍යවශ්‍ය කටයුතු වලට බාධා නොකෙරෙන අනුමැතියක් රාජ්‍ය ආයතන පද්ධතිය තුළින් ආණ්ඩුවේ කටයුතු සඳහා ලැබීමය. කෘෂිකර්ම ඇමැතිවරයා කිවූ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ වනුයේ ආණ්ඩුවේ ඇතැම් අත්‍යාවශ්‍ය වගකීම් ඉටු කිරීමට ආයතන පද්ධතිය තුළින් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවය.මේ තත්ත්වය ප්‍රතිවිප්ලවයේම කොටසක් ලෙස තේරුම් ගැනීමට සිදුවන අතර ජාතික ජන බලවේග ආණ්ඩුව උපරිම ජන අනුමැතියක් සහිත ආණ්ඩුවක් බැවින් ආයතන ගතව මතුවන ප්‍රශ්න වසර දෙක තුනක් ඇවෑමෙන් ජයගත හැකි බව සිතිය හැකිය. ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියේ පාලනයත්, මූල්‍ය විනිවිදභාවයත් පෙරටු කරගෙනය. එහෙත් මීට පෙර පැවති ආණ්ඩු රාජ්‍ය බලය අත්පත් කර ගත්තේ සහ එය ඉදිරියට ගෙන ගියේ තත්ත්වාකාරයෙන් බුද්ධි හා මිලිටරිමය ව්‍යාපාරයකට දේශපාලන නායකත්වය සපයමිණි.
රාජපක්ෂ ආණ්ඩුව තනිකරම ඒ මඟ ගත් අතර වික්‍රමසිංහ මහතාට ඒ සා දුර යා නොහැකි වූයේ ඔහුගේ ධුර කාලයේ කෙටි බව හා ආර්ථික අර්බුදය බලවත්ම ප්‍රශ්නය ලෙස ඉස්මත්තට පැමිණ තිබුණු තත්ත්වය හේතුවෙනි. ජේ. ආර් ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස අර්ධ deep state ක්‍රමයක් රාජ්‍ය ඉදිරියට ගෙන යාමට භාවිත කළහ. වර්තමාන ආණ්ඩුව බොල් ෂෙවික් වැඩපිළිවෙල සෙමෙන් ක්‍රියාවට නගන බවට විපක්ෂයේ ඇතැමුන් චෝදනා එල්ල කළත් ඇත්තම තත්ත්වය නම් ආණ්ඩුව ඒ සා ගුප්ත ස්ථාවරයකට නොයනු ඇත යන්නය. මන්ද වර්තමාන ආණ්ඩුව ජාතික ජන බලවේගය නමැති බහුත්වවාදී සහජ ගුණයක් සහිත ආණ්ඩුවක් වන බැවිනි.
චෝදනා නැති ආණ්ඩුවක්
ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් ජනමාධ්‍ය අසන ප්‍රශ්න මගින් ආණ්ඩුවේ හොඳ නරක සෑහෙන දුරක තේරුම් ගත හැකිය. ආණ්ඩු විරෝධී ස්ථාවරයක් දරන ජනමාධ්‍ය පවා මෙකල ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගෙන් විමසන්නේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සහතික පිළිබඳ ප්‍රශ්නය. අනෙක් අතට කංසා පැළයක් ජාජබ මන්ත්‍රීවරයකුගේ ඉඩමකින් මතු වූ ප්‍රශ්නය යනාදිය ය. ඒ හැරුණු විට පාර්ලිමේන්තු කැන්ටිමෙන් කෑම කා සමහර ඇමතිවරුන්ගේ බඩ ලොකු වී තිබෙන ආකාරය ද ඇතැම් විට මතු කෙරෙන ප්‍රශ්නයකි. එහෙත් එකල ඇමතිවරුන්ගෙන් අසන්නට සිදුව තිබුණේ ඔවුන් අනියම් ආකාරයෙන් සිදුකර තිබුණු මහා පරිමාණ වංචා හා දූෂණ පිළිබඳවය. නැතහොත් පිටරටින් මෙරටට ලැබෙන ව්‍යාපෘතියකින් අධික කොමිස් ලබා ගැනීමට තැත් කිරීම නිසා ව්‍යාපෘතිය ද රටට අහිමි කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය. බලය පාවිච්චි කොට නීතිය තමන්ට අවශ්‍ය ලෙස නැමීමේ චෝදනා පිළිබඳවය. අද අමාත්‍යවරුන්ට අදාලව එවැනි ප්‍රශ්න නැත. එහි අරුත වර්තමාන රජයට එරෙහිව මහජන දේපළ අවභාවිතය හා දූෂණය පිළිබඳ චෝදනා නැත යන්නය. තිබෙන්නේ බොත්තම වැරදි ලෙස දමාගෙන කමිසය ඇඳීම, ජොගින් යෑම, ඉංග්‍රීසි භාෂාව වරද්දා ගැනීම ආදී ප්‍රශ්නය. ආණ්ඩුව පිළිබඳව ශක්තිමත් විවේචනයක් එල්ල කළ නොහැකි තත්ත්වය අභියෝගයක් ලෙසට තවදුරටත් වර්ධනය වන්නේ විපක්ෂයට එරෙහිව ය.
සැබැවින්ම ආණ්ඩුවට එරෙහිව අත දිගහැර එල්ල කරන ප්‍රහාරයක් සිදු කිරීම විපක්ෂයට උගහට වී තිබෙන තත්ත්වය තුල රාජ්‍ය ආයතන පද්ධතිය අඩපණ කිරීම මගින් ආණ්ඩුවට සැලකිය යුතු හානියක් සිදුකිරීමට හැකිදැයි යන්න තවදුරටත් පැරණි ලෝකයේ දේශපාලකයින්ට සේවය කරන ඇතැම් නිලධාරීන්ට අත්හදා බැලිය හැකිය. එහෙත් ඕනෑම ආණ්ඩුවකට එරෙහිව නිලධාරීන් වුව එසේ කරනු ඇත්තේ තම හාම් පුතුන්ගේ දේශපාලන ස්ථාරත්වය කෙතෙක් ද යන්න තක්සේරු කර බැලීමකින් පසුවය. මේ කාලය තුළ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයෙන් ප්‍රකාශ වූයේ අප්‍රේල් මාසයේ ආණ්ඩුව ගන්නවා යන්නය. එහි යටි පැත්තේ කතාව වන්නේ අප්‍රේල් මාසය වන විට ආණ්ඩුව ආර්ථිකමය වශයෙන් දුබලවන බවත් අනතුරුව 2022 පරිදි රනිල් වැටුණු ආණ්ඩුව භාර ගැනීමට නියමිතය යන්නය. මේවා පිළිගත හැකි නිර්ණායක හා සාක්ෂි මත ගොතන කතා නොව කනා බල්ලන් ගැසීම් බඳු ප්‍රවාදයන්ය. එවැනි සිහින වික්‍රමසිංහ මහතා ඇතුළු කල්ලියට නඩත්තු කළ හැකි නමුත් ආණ්ඩුව ගමන් කරන සකසුරුවම් ආර්ථික ක්‍රමවේදය තුළ ආර්ථිකමය වශයෙන් වූ කඩා වැටීමක් කිසිසේත්ම සිද්ධ විය නොහැකිය. ආර්ථිකමය කඩා වැටීමක් සිදුවිය හැක්කේ පාලනයකින් තොර වියදම් සහිත මූල්‍ය භාවිතයකින් යුක්ත නාස්තිකාර ගමනකදීය.
අභියෝග වල ස්වාභාවය
ආණ්ඩුවට එරෙහිව ඇති අභියෝගවල ස්වාභාවය රණවක හා වීරවංශ බඳුය. පළමුවැන්නා ලොකු වැඩ නොකළ හැකි බවට ආණ්ඩුවට අභියෝග කරන්නේ බිංදුවේ ජන බලයක් සහිතවය. අභියෝගයක් කරන තැනැත්තකු මැත දෙඩීමක් හෝ කරන්නේ යම් ශක්තියක් තමන් අතෙහි රඳවාගෙන නමුත් මෙහි එවැන්නක් දක්නට නැත. දෙවැන්නා දිගු කාලයක් තිස්සේ වර්ගවාදී හා ආගම්වාදී දේශපාලනයක නිමග්නව සිට මුළුමනින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූවෙකි. ඔවුහු දෙදෙනාම ආණ්ඩුවට deep state චෝදනාව කරති. පළමුවැන්නා රුසියානු බෝල්ෂෙවික් පක්ෂයේ න්‍යාය පෙරට ගෙන එම චෝදනාව කරන අතර දෙවැන්නා නන්දන ගුණතිලකගේ නික්මයාම ආධාර කරගෙන එම චෝදනාව ආණ්ඩුව පැත්තට එල්ල කළේය. චෝදකයා ජනතාව අතර ප්‍රතිශතාත්මකව වැඩි ප්‍රමාණයකින් සාවද්‍ය මත ප්‍රචලිත කරන්නෙකු වී සිටිමින් කරන චෝදනා වගකීමෙන් සලකා බැලීමේ හැකියාවක් සමාජයකට නැති අතර ආණ්ඩුව වඩාත් නිර්භීතව තම දේශපාලන හා රාජ්‍ය ප්‍රතිෂ්ඨාපන පියවරයන්ට යාමෙන් මේ චෝදනා ඉක්මනින් පරාජයට පත් කළ හැකිය. අනෙක් අතට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට ආණ්ඩුව ගත් වෑයම එක කරුණක් ආශ්‍රයෙන් මතුවූ ගැටලුවක් නිසා හකුලා ගතයුතු නැත.
විපක්ෂයේ හර්ෂ ද සිල්වා වැනි අයත් පාර්ලිමේන්තුවේදී මෙම කරුණ මතු කළ අතර ආණ්ඩුවට සමාන්තරව රාජ්‍යයද ඉදිරියට තල්ලු කරගෙන යාමේ ප්‍රයත්නය තර්කානුකූලව ජයගැනීමට නම් එවැනි අභියෝගාත්මක කර්තව්‍යයන් පිළිබඳව දේශපාලන පෞරුෂයට සිදුවිය හැකි යැයි උපකල්පනය කරන අනතුරු භාරගෙන ආණ්ඩුව ක්‍රියාකළ යුතුය. ආණ්ඩුව එහිදී සැලකිල්ලට ගත යුත්තේ ලංකාවේ යල් පැන ගිය අධ්‍යාපන සිද්ධාන්ත වලට විකල්පව නව්‍යකරණ අධ්‍යාපන මොඩලය යථාර්ථයක් කර ගැනීම ගැනය. මෙම කාරණයේදී ජේවීපී සහ එන්පීපී යනු දෙකක් බවට මතයක් නිර්මාණය කර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මත භේදයක් නිර්මාණය කරන මුග්ධ වෑයමක විපක්ෂය නිරත වන අතර එම කුප්‍රකට වැඩපිළිවෙල පරාජය කළ හැක්කේ රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තර්කානුකූල අවසානයකට ගෙන ඒමට දක්වන කැපවීම තුළිනි.
විමලනාත් වීරරත්න

