රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW :
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් විය.

ආපදා තත්ත්වය හමුවේ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන දහසකට අධික වූ ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමටත්, එම සියලු ප්‍රතිසංස්කරණ කටයුතු අදාළ ස්ථානවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ අනෙකුත් ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ, සියලු පාර්ශ්වයන්හි දායකත්වය ලබා ගනිමින් සිදු කිරීමත් රජයේ අපේක්ෂාව බව එහිදී ජනාධිපතිවරයා පැවසීය .

මධ්‍යම කඳුකරය ආරක්ෂා කර, පෝෂණය කිරීමට නව පනතක් සහ අධිකාරියක් ස්ථාපිත කරන බවත්, ග්‍රාමීය දිළිඳු බව තුරන් කරමින් ජනතාවගේ ජීවිත ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් රජය මේ වන විට විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබෙන බවත් මෙහිදී සඳහන් කළ අතර පළමු වසරට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම 29 වනදා අරඹන බවද ප්‍රකාශ කළේය .

එමෙන්ම, ඉතිහාසයේ පළමු වතාවට මෙම පෙබරවාරි මාසයේදී වතු ජනතාවට රුපියල් 1750ක දිනක වැටුපක් හිමිවන බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම සියල්ල අතර යහපත් මිනිස් සබඳතා සහිත සමාජයක් අවශ්‍ය බවද අවධාරණය කළ අතර රාජ්‍ය නිලධාරියා සහ සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව අතර සබඳතාව, මහා සංඝරත්නය සහ දායක සභාව අතර සබඳතාව, පාසල් ගුරුවරුන් සහ දරුවන් අතර සබඳතාව යන මේ සියලු සබඳතාවන් අද පලුදු වී තිබෙන බවත්, රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් මේ සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතු බවත් පෙන්වා දෙමින්, එහිදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට විශාල කාර්යභාරයක් පැවරී ඇති බවද සඳහන් කළේය.




