රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණ
පුංචි සුදු පැහැ පබළුවක් ළඟ
අඩ දණින් නැවතුනා දැක්කා
පරෙස්සම් ඇති එය ඔබේ ළඟ
මා ගාව තියෙනවට වැඩියෙන්

පල්ලියේ අල්තාරෙ යටදී
වේල්පොට පෑගුනෙන් කකුලට
වැටෙන්නට ආසන්න මොහොතෙම
කොහෙන් හරි ඔබ ආව එතනට
දෑත දී මට වාරු වෙන්නට

එසැණ ඔබගේ දෑත හරහා
සියුම් ගැස්මක් හිතට එබුනා
පරෙස්සම් මදි චෝදනාවක්
හිනාවේ පැටලිලා තිබුනා
කොයිතරම් උණුසුම්ද අතැඟිලි
අතාරින්නට ලෝබ හිතුනා

දිගින් වැඩි වූ අලස තප්පර
හිසට මන්තර වක්කරද්දී
අතින් ගිලිහී මඟුල් මුද්දත්
ඔබේ පා ළඟ නතර වූ හැටි
අපේ හදවත් නතර වූ හැටි

එදා නම් මහ අමුතු දවසක්
ජීවිතේ කිසිදිනෙක නොදැනුනු
මොහොතකට මම හිතින් හිතුවා
දකුණු පැත්තෙන් හිඳී නම් ඔබ
මමයි සොඳුරුම මනාලී ලොව

බැලුව හත් අට වතාවක් මම
වෙඩින් ඇල්බම් එකේ අහු මුළු
අහම්බෙට වත් නොවේ ඔබ එහි
වසා ඇසිපිය මවා ගන්නෙමි
රාත්‍රිය වී ඔබයි එන්නේ
ඒ නිසයි මම හුස්ම ගන්නේ

~ දිනූ රාජගුරු